අයිය මලෝගේ "ප්‍රේමය නම්" සැබෑ අත්දැකීමක්

  👤  3162 readers have read this article !
Published by : MB WEB 2017-03-06 11:43:22

• ඔබයි ඔබේ සහෝදරයයි එකතු වෙලා නිර්මාණය කළ ප්‍රේමය නම් චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා. අයියා මල්ලි එකතු වෙලා නිර්මාණයකට අත ගහන්න හිතුවේ ඇයි කියලා මුලින්ම කියමු.

අයියයි මමයි පුංචි කාලේ ඉඳන්ම චිත්‍රපට රසිකයෝ. ආසියානු සිනමාව වගේම යුරෝපීය සිනමාව සිනමා උළෙල හරහා අත්විඳිමින් 80, 90, දශකවල ප්‍රසිද්ධ වුණු වීඩියෝ කැසට් හල්වලින් අපි දෙන්නා බහුලව චිත්‍රපට නැරඹුවා. පාසල් ජීවිතයෙන් පස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ඇමෙරිකාවට යෑම අපේ සිනමා රසිකත්වයට ලොකුම භාග්‍යයක් වුණා. අපි ප්‍රිය කළ චිත්‍රපට එහිදී නැරඹුවා. සිනමා අධ්‍යයනයට අසීමිත ඉඩක් ලැබුණා. ඒ නිසා කුඩා කාලයේ ඉඳන්ම කතා කීමේ කලාවක් විදියට සිනමාවට ප්‍රිය කළ අයියටත්, මටත් නිර්මාණයක් කිරීමේ දැඩි ඇල්මක් ඇති වුණා. එහි ප්‍රතිඵලය තමයි 'ප්‍රේමය නම්' කියන්නේ.

• මෙය සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කළ චිත්‍රපටයක්. එවැනි චිත්‍රපටයකට ප්‍රේක්ෂකයෝ ඇද බැඳ තබා ගැනීමේ හැකියාව වැඩියි කියලා ඔබ හිතනවාද?

මෙය මටත් අයියටත් අතිශය සමීප, පෞද්ගලික සත්‍ය කතාවක් පදනම් කරගෙන ගොඩනැඟුණු සිනමා නිර්මාණයක්. අයියටත් මටත් පුද්ගලිකව යම් සිද්ධියක් වැදගත් වූ පළියට එය ප්‍රේක්ෂකයන්ට වැදගත් වෙනවා කියලා හිතන්න තරම් අපි නිර්මාණ මමත්වයකින් පෙළෙන්නේ නෑ. අපි විශ්වාස කළා මානව සංවේදනාවක් මත පදනම් වුණ මේ අනුවේදනීය සත්‍ය කතා පුවත අපේ ප්‍රියතම කලා මාධ්‍යයෙන් ප්‍රේක්ෂකයන්ට දෙන්න. ජීවිතයට වටිනා අත්දැකීමක් ඒ හරහා ලබාදීමේ වැදගත්කමක් තියෙනවා කියලා අපි හිතුවා.

• මෙවැනි සංවේදී තේමාවක් සමාජගත කිරීමේ අපේක්ෂාව මොකක්ද?

මානසික සෞඛ්‍ය, මානසික රෝගීන් සහ මානසික රෝහල පිළිබඳ අවම අවබෝධයක් සහ දැනුමක් ඇති සමාජයකට ඒ පිළිබඳ සැබෑ අවබෝධය, ධනාත්මකව මෙන්ම සුබවාදීව කතා පුවතක් හරහා ඉදිරිපත් කරන්නයි අපිට ඕන වුණේ. මිනිසුන් වන අපට මුහුණ දෙන්නට වන ඕනෑම ගැටලුවකට විසඳුම්, අසීමිත සෙනෙහස, කැපවීම සහ ඉවසීම මත ර¼දා පවතින බවට පෙන්වන්නයි අපට අවශ්‍ය වුණේ. විශේෂයෙන්ම අයියත් මමත් පෞද්ගලිකව ලබාගත් අත්දැකීමයි සහෝදර ජනතාව සමඟ බෙදා ගන්න වුවමනාව තිබුණේ.

• කුලුඳුල් සිනමා නිර්මාණයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

අයියයි මමයි ලැබූ මේ ජීවිත අත්දැකීම කලා නිර්මාණයක් ලෙස සිනමා රසිකයෝ සමඟ බෙදා ගන්නට අප දරපු උත්සාහයට ලාංකේය සිනමා රසික ප්‍රජාව සංවේදී වේවි කියලා අපි හිතුවා. දැනට අපිට ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.

• ප්‍රේමය නම් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කරන්නත් අවස්ථාව හිමි කරගත්තානෙ. ඒ ගැනත් කියමු?

පෙරදිග බීජිං සිට අපරදිග කැලිෆෝනියා දක්වා ජාත්‍යන්තර සිනමා උළෙල පහළොවකට ප්‍රේමය නම් මේ වන විට තෝරාගෙන තිබෙනවා. එයින් සිනමා උළෙල හතකදී අප හොඳම චිත්‍රපටය වෙනුවෙන් තරග වැදුණා. ප්‍රමුඛතම සහ විශිෂ්ටතම ගණයේ උසස් පිළිගැනීමකට ලක්වුණු සිනමා උළෙල කිහිපයකටම අපේ චිත්‍රපටය තෝරා ගැනීම අයියත් මමත් ලැබූ ජයග්‍රහණයක්. ඉන්දියාවේ ප්‍රධානතම ජාත්‍යන්තර සිනමා උළෙල වන ඉෆී සම්මාන උළෙලටත් අපේ චිත්‍රපටය තෝරා ගනු ලැබුවා. මම මුලින් සඳහන් කළ චිත්‍රපට උළෙල පහළොවෙන් දහතුනකම එකම ශ්‍රී ලාංකික තෝරා ගැනීම බවට ප්‍රේමය නම් පත්වීමත් සුවිශේෂත්වයක්.

• ඒ හරහාත් චිත්‍රපටයට ලොකු වටිනාකමක් එක් වෙන්න ඇති?

අපට මේ සෑම සිනමා උළෙලකදීම එක හා සමාන ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම විචාරක ප්‍රතිචාරත් හිමි වුණා. ඇමෙරිකාව, එංගලන්තය, ස්පාඤ්ඤය, ඉන්දියාව, චීනය ඇතුළු ප්‍රේමය නම් තෝරාගත් සෑම රටකම ප්‍රේක්ෂකයන් අපේ චිත්‍රපටය වැලඳ ගත්තේ යම් කාරණයක් නිසා. මුළු ලෝකයටම පොදුවේ දැනෙනා සංවේදී කරුණක් අව්‍යාජ ලෙස සිනමාවට නඟා තිබීම තමයි එයට හේතුව.

• චිත්‍රපට නිර්මාණය කළාට සිනමාකරුවන් මුහුණදෙන දහසකුත් එකක් ගැටලු තිබෙනවා. ඔබත් සහෝදරයත් ඒ ගැටලුවලට මුහුණ දෙන්න ඇති නේද?

දේශීය සිනමාවේ සහ ක්ෂේත්‍රයේ ඇති සියලු ගැටලු අපටත් පොදුයි. ඒවාට අයියත් මමත් මුහුණ දෙනවා. නමුත් අයියත් මමත් උත්සාහ කරන්නේ ගැටලු පිළිබඳ සංවාදයේ යෙදෙමින් කාලය ශක්තිය වැය කරනු වෙනුවට අපේ නිර්මාණවලින් ඒ අභියෝග ජයගන්න. පරිසමාප්ත ලෝකයක් නැති බව අපි අවබෝධ කරගෙන ඉන්නේ. ඒ නිසා අපි සුබවාදීව, ධනාත්මකව, සතුටින් නිර්මාණකරණයේ නියැළෙන්න තමයි වඩාත් කැමැති.

• සිනමා ශාලා ඩිජිටල්කරණය කිරීම ගැනත් සුබවාදී අදහසක් තිබෙනවද?

සිනමා ශාලා ඩිජිටල්කරණය ඉතාම හොඳ දෙයක්. එය වර්තමාන සිනමා ක්ෂේත්‍රයේ පැවැත්මට අත්‍යවශ්‍ය කාලෝචිත වගේම ප්‍රගතිශීලී ඉදිරි පියවරක්. නමුත් ලොව ඕනෑම භෞතික හෝ ජෛවීය ක්‍රියාවලියක පරිණාමනය සිදුවන්නේ අනුක්‍රමයෙන්. ඒ කියන්නේ එම ක්‍රියාවලියට හිතකර පරිදි ඒවාට බලපාන පාරිසරික සාධක ක්‍රමානුකූලව සංක්‍රමණය වීමෙන්. සිනමා ශාලා ඩිජිටල්කරණයටත් එම සංසිද්ධිය පොදුයි. එම නිසා නාමික ඩිජිටල්කරණයට වඩා දේශීය චිත්‍රපට ක්ෂේත්‍රය නියෝජනය කරන සියලුම පාර්ශ්ව සැලකීමට ලක් කර ඔවුන් සැමටම සාධාරණයක් වන අයුරින් සිනමා ශාලා ඩිජිටල්කරණ ක්‍රියාවලිය කළොත් එය සැබැවින්ම දේශීය සිනමා ක්ෂේත්‍රයේ උන්නතියට හේතු වේවි.
අනුරාධා හේරත්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon