නොලැබෙන දේවල් ගැන මම දුක් වෙන්නේ නෑ

  👤  2554 readers have read this article !
Published by : MB WEB 2017-03-03 15:22:26

මේ දවස්වල නිර්මාණ කටයුතුවලට දෙන දායකත්වය ගැන මුලින්ම කතා කරමු?

මම පසුගිය කාලේ ගීත කිහිපයක්ම නිර්මාණය කළා. නවක සහ ප්‍රවීණ ශිල්පීන්ට මම අලුතින්ම කරපු 'දුක සේදෙන්න වැහැපන් වලාවේ' කියන ගීතයත් මේ දවස්වල ජනප්‍රියයි. ඒකත් වෙනස් විදියට කරපු නිර්මාණයක්. මියුසික්වලත් වෙනසක් තියෙනවා. මම මගේ ස්ටයිල් එකට ඒ ගීතයත් නිර්මාණය කළා.

ඔබේ ගීත සංගීතවත් කරන්නෙත් ඔබමයි නේද?

ඔව්. මගේ ගීතවල මියුසික් කරන්නේ මම. ඒ වගේම මම අවුරුදු තිහක් වගේ කාලයක් ඇතුළත ගීත හයදහස් පන්සීයක් විතර නිර්මාණය කරලා තියෙනවා. කැසට් පට සහ සී. ඩී. තැටිවලට මාකට් එකක් තිබ්බ කාලේ මම ගොඩක් ගීත නිර්මාණය කළා. දැන් ටිකක් විතර ගීත නිර්මාණ කටයුතු අඩු වෙලා තියෙනවා.

ඔබ රිඟින් ටෝන්වලට දෙන්නද ගීත කරන්නේ?

නැහැ. මම රිඟින් ටෝන්වලට ගීත හදන්නේ නැහැ. මම සින්දු හදනවා. ඒවා ජනප්‍රිය වෙලා රිඟින් ටෝන්වලට ගත්තොත් මිසක් රිඟින් ටෝන්වලට විකුණන්න බලාගෙන මම නිර්මාණ කටයුතු කරන්නේ නැහැ. මම කොපි සින්දු නොකර මගේ ඇඟට ආපු දේ හදනවා.

ඔබ දැන් වැඩි බර දෙන්නේ ගායනයටද? සංගීත නිර්මාණකරණයටද?

මම සංගීත නිර්මාණකරණයට ගොඩක් ආසයි. ඒ අතරේ මම ගීත ගායනාත් කරනවා.

ලක්‍ෂ්මන් හිල්මි කියන්නේ ජනප්‍රියත්වය හොයාගෙන යන කෙනෙක් නෙවෙයි නේද?

මම ජනප්‍රියත්වය හොයාගෙන යන්නේ නැහැ. මම ක්‍ෂේත්‍රයට ආපු කාලේ මගේ ගීත ජනප්‍රිය වුණේ එෆ්. එම්. නාළිකාවලින්. ඔවුන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. මම වේදිකාවට නැග්ගෙත් මගේම ගීත අරගෙන. පත්තරවලට අනෙක් නාළිකාවලට ගිහින් මාව ජනප්‍රිය කර නොගත්තත් මං තාමත් මට උදවු කරපු ඒ මාධ්‍යවලට ආදරෙයි.

එදා ලැබුණු මාධ්‍ය සහයෝගය තාමත් ලක්‍ෂ්මන්ට ලැබෙනවද?

මගේ ගීත තාමත් Play කරනවා. හැබැයි අලුත් ගීත ප්‍රචාරය වෙන්නේ නැති පසුබිමක් තියෙනවා සමහර වෙලාවට. ඒවට ඉතිං වෙන දේවල් බලපානවා ඇති.

කොහොම වුණත් මාධ්‍ය නාළිකා මගේ ගීත ප්‍රචාරය කළේ නම් මගෙන් ප්ලේන්ටියක්වත් නොබී. දැන් ඉතිං ගීත ප්‍රචාරය කරගන්න විෂුවල් එකත් බලපානවනේ.

කොහොම වුණත් මාධ්‍යවලින් මට දීපු දේවල් ඇති. ඒ දීපු දේවල්වලට මම ආදරෙයි. නොලැබෙන දේවල්වලට මම දුක් වෙන්නේ නෑ.

ඔබේ ගීතවලට මියුසික් වීඩියෝ නිර්මාණය කළා නම් මීට වඩා තැනක් හදාගන්න පුළුවන් කියලා හිතන්නෙ නැද්ද?

ගීතයක් ශ්‍රවණය කරලා රසවිඳින්න පුළුවන් වෙන්න ඕනෑ. ඒක හදවතට දැනෙන්න ඕනෑ. ගීතයක හොඳ පද රචනයක් තනුවක් තියෙන්න ඕනෑ. ඇස්දෙක වහගෙන රසවිඳින්න බැරි ගීත කරලා වැඩක් නැහැ. මම මගෙන් නිර්මාණ කර ගන්න කැමැති අයට ඒ විදියේ රසවිඳින්න පුළුවන් ගීත කරලා දෙනවා.

එඩ්වඩ් ජයකොඩි මහත්මයා ගායනා කරන 'පණනල සුළඟට' කියන ගීතය සංගීතවත් කරන්නෙත් ඔබ. ඔහුත් ඔබේ නිර්මාණයක් හොයාගෙන ආපු කෙනෙක්ද?

මේ ගීතය ලිව්වේ ඇන්ටන් ජේ. ප්‍රනාන්දු. මම තමයි මේ ගීතය සංගීතවත් කළේ. ඇන්ටන් ඒ ගීතය එඩ්වඩ් අයියට දීලා තිබුණා. ඔහු හොඳ දක්ෂ ශිල්පියෙක්. මගේ ගීතයක් ඔහු ගායනා කළා. අපිට ‍දොස් කියන ප්‍රවීණයොත් ඉන්නවනේ. ඒ අතරේ අපිත් එක්ක වැඩ කරන්න කැමැති මේ වගේ ප්‍රවීණයන්ට මගේ ගරුත්වය හිමි වෙනවා.

ඔබව වේදිකාවට අවශ්‍යම වුණු කාලයක් තිබුණා. එදා ඒ තිබුණු වටිනාකම තාමත් ඔබට තිබෙනවද?

රියැලිටි වැඩසටහන්වලින් ආපු පිරිසක් දැන් ක්‍ෂේත්‍රයේ ඉන්නවා. ඒ අතරේ දක්ෂයොත් ඉන්නවා. අපි අවුරුදු ගාණක් ජනප්‍රියත්වයේ හිටියා. ඉස්සරට වඩා අපිට වැඩ අඩුයි. දැන් මම කොහොමත් ෂෝ පස්සේ ගොඩක් එළවන්නේ නැහැ.

ඔබේ නිර්මාණවලට නිසි වටිනාකමක් ලැබෙනවාද?

මම මගේ වැඩවලට සාධාරණ මුදලක් අය කරනවා. ඒ අය කරන මුදලට හරියන්න වටිනා දෙයක් මම දෙනවා. මම සංගීතය බාල්දු කරන්න කැමැති නැහැ. මම මගේ ස්ථාවරය හදාගෙන ඉන්නේ.

සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව නාමල්ටත් නොමිලේ ගීතයක් කරලා දුන්නා නේද?

මම මියුසික් කරලා වොයිස් කරපු ගීතයක් මම නාමල්ට උඩුගමට දුන්නා. 'ලිහිණියේ පියා සලන්න' කියන ඒ ගීතය ඔහුගේ හ¾ඩින් අහන්න හිතුවා. නාමල් මගේ ළඟම සහෝදරයෙක් වගේ; ඒකයි එහෙම කරලා දුන්නේ.

මොනවද ඉදිරියේදී කරන්න ඉන්න වැඩ?

මම නිර්මාණය කළ ගොඩක් ගීත ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ ගීත ගායනා කරපු ශිල්පීන්ව එකතු කරගෙන තව අවුරුදු පහකින් විතර ෂෝ එකක් කරන්න හිතාගෙන ඉන්නවා. ඊට පස්සේ මම සමහර විට සින්දු නොකියත් ඉඳියි. කාටවත් අත නොපා ඉන්න ස්ථාවරයක් මම හදාගෙන ඉන්නේ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon