විමල්ට කාරක සභාවලට එන්න අවසර

  👤  1790 readers have read this article !
Published by : MB WEB 2017-02-28 08:04:45

ඉෂාර රත්නකාර

රිමාන්ඩ් භාරයට පත් කර සිටින ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් සඳහා සහභාගි වීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට ඊයේ (27දා) නියෝග කළේය.

රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ රිමාන්ඩ් භාරයට පත්කර සිටින තමන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා විමල් වීරවංශ මහතා ගොනු කළ ප්‍රතිශෝධන ඇප අයැදුම්පතක් ඊයේ සලකා බැලූ අවස්ථාවේදී විනිසුරුවරයා එම නියෝගය නිකුත් කළේය.

පෙත්සම්කාර විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයාට පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගි වීමට අවස්ථාව ලැබුණද පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම්වලට සහභාගි වීමට ඔහුට පහසුකම් සලසා නොමැති බව මහාධිකරණය වෙත දන්වා සිටියේය. ඒ අනුව තම සේවාදායකයාට පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් අවස්ථාවලට සහභාගි වීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසට වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි විමල් වීරවංශ මහතාගේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා පෙත්සම්කාර විමල් වීරවංශ මහතාට පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් අවස්ථාවලට සහභාගි වීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

විමල් වීරවංශ මහතා ගොනු කළ ප්‍රතිශෝධන ඇප ඇයැදුම්පතේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිය විරෝධතා අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කර තිබූ අතර එම විරෝධතාවලට ප්‍රතිවිරෝධතා ඇත්නම් ඒවා මාර්තු 3දාට පෙර ඉදිරිපත් කරන ලෙස වීරවංශ පාර්ශ්වයට විනිසුරුවරයා නියම කෙළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon