රත්නා,සම්පත් එක්වී ‘දෙසීය තුන්සීය’ වේදිකාවට ගෙනෙති

  👤  2372 readers have read this article !
Published by : MB WEB 2017-02-17 14:54:16

අලුතින් වේදිකා නාට්‍යයක් කරන්න යනවා නේද?

ඔව්. මමයි සැමියයි එකතු වෙලා "දෙසීය තුන්සීය" කියලා වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කළා.

මේක මොන විදිහේ නිර්මාණයක්ද?

මේක ඇත්තටම පරිවර්තනයක්. ඇලෙක්සැන්ඩර් වැම්පිලෝගෙ කතා දෙකක් එකතු කරලා හදපු නිර්මාණයක්. දෙසීය සහ තුන්සීය කියන්නෙ කෙටි කතා දෙකක එකතුවක්.

මේ නිර්මාණයෙන් සමාජයට මොන වගේ පණිවුඩයක්ද ලැබෙන්නේ?

මේකෙන් කියැවෙන්නේ ජීවිතය කොයි තරම් සුන්දරද, ඒ වගේම කොයිතරම් බියකරුද කියලා. අනෙක් එක මිනිස්සු එකිනෙකාව විශ්වාස කරන්නේ නෑ. කෙනෙක් කැමැත්තෙන්ම අවංකව තවත් කෙනකුට උදවු කරන කොට අනෙක් කෙනා එයාව විශ්වාස කරන්නේ නෑ. එහෙම කරන කෙනාට වෙන අකරතැබ්බ ගැන තමයි එක නාට්‍යයකින් කියන්නෙ. අපි හුඟක් වචන පාවිච්චි කරනවා. ඒ එක වචනයක් අපිට තේරුම් ගන්න බැරි වුණොත් මොන තරම් ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වෙනවද කියන එක තමයි අනෙක් නාට්‍යයෙන් ඉදිරිපත් කරන්නේ.

වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කිරීමේ මුල් අදහස ඔබේද? සම්පත්ගෙද?

ඇත්තටම මේකට මට නෙවෙයි මුලින්ම ආසාව තිබුණේ. මම ගුරුවරියක්. ඉතින් පාසලේ ශිෂ්‍යාවන් සමඟ තමයි මම මේ නාට්‍යකරණයේ යෙදෙන්නේ. සම්පත්ට ලොකු ආසාවක් තිබුණා නාට්‍යයක් කරන්න. එහෙම ඉන්න අතරතුර තමයි ආචාර්ය ජයලත් මනෝරත්න එයාගේ ප්‍රථම පරිවර්තනයේ පිටපත සම්පත්ට ලබා දීලා තිබුණේ. ඉතින් අපි ඒක අධ්‍යක්ෂණය කරන්න හිතුවා. හැබැයි මට නම් පොඩි බයක් නොතිබුණා නෙවෙයි.

නාට්‍යයට සම්බන්ධ වෙන ශිල්පීන් ගැනත් කියමු?

ජයලත් මනෝරත්න, සම්පත් තෙන්නකෝන්, සුජානි මේනකා, ෆර්නි රෝෂිනී, නිමල් ජයසිංහ, ඉෂාර වික්‍රමසිංහ, සමදරා මාඹුලගේ, ජගත් පද්මසිරි, සංජීව උපේන්ද්‍ර සහ මම රංගනයෙන් නාට්‍යයට සම්බන්ධ වෙනවා.

කවදාද නාට්‍ය වේදිකාගත කරන්නේ?

පෙබරවාරි 17, 18 සවස 7.00ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී දෙසීය තුන්සීය නාට්‍යයයේ මංගල දැක්ම පැවැත්වෙනවා.

වේදිකා නාට්‍ය ලංකාවෙන් පිටතට ගෙනියන්න අදහසක් නැද්ද?

අප්‍රේල් මාසයේදී ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල වේදිකා නාට්‍ය රඟ දක්වන්න දැනටමත් ආරාධනා ලැබිලා තියෙනවා. ප්‍රංශයේ ඉන්න චන්ද්‍රා සේනානායක අයියා ජයලත් මනෝරත්නගේ හොඳ ප්‍රේක්ෂකයෙක්. ඔහුගේ ආරාධනයකටයි එහෙ යන්නෙ.

වේදිකාවත් එක්ක ලොකු ගනුදෙනුවක් තියෙනවා නේද?

ඔව්. මමයි සම්පතුයි දෙන්නම වේදිකාවට ගොඩක් ආදරෙයි. අපි දෙන්නා වේදිකා නිර්මාණ ගණනාවකට රංගනයෙන් දායක වුණා. මේ නාට්‍ය තමයි අපි දෙන්නා එකතු වෙලා අධ්‍යක්ෂණය කරන පළමු වැනි වේදිකා නිර්මාණය.

දෙන්නගේ ආදර කතාව පටන් ගන්නෙත් වේදිකාවෙන්නේ?

ඔව්. අපි යාළු වුණේ මනෝ අයියාගේ නාට්‍යයක දීමයි. ඒකෙදි අපි දෙන්නා ප්‍රේමවන්තයෝ විදියට රඟපෑවා. නාට්‍ය අවසානවෙද්දී අපි ඇත්තටම ප්‍රේමවන්තයෝ වෙලා. ඊට අවුරුදු පහකට පස්සේ අපි විවාහ වුණා. එදා ඉඳන් අපි දෙන්නම එක්කෙනෙක්.

ගුවන් විදුලියට පය තියලා ක්ෂේත්‍රයේ බොහෝ පැතිකඩ ඔබ ස්පර්ශ කළා?

මම ක්ෂේත්‍රයට ආවේ ගුවන් විදුලියේ ළමා ශිල්පිනියක් විදියට. ඊට පස්සේ මම ක්‍රමයෙන් වේදිකාවට සම්බන්ද වුණා. ඊට පස්සේ රූපවාහිනියට, සිනමාවට එකතු වුණා. මොන දේට සම්බන්ධ වුණත් ඇත්තටම මම පුදුම ඇල්මක් දක්වනවා වේදිකාවට. මට එකේ ලොකු නිදහසක් තියෙනවා වගේම සජීවී බවක්් තියෙනවා.

දැන් ටෙලි නාට්‍ය පැත්තට අවධානය අඩු වෙලාද?

මම ගුරුවරියක් විදියට කටයුතු කරන නිසා මගේ වෘත්තියට හානි නොවන සහ මගේ පෞද්ගලික ජීවිතයට හනියක් නොවන ආකාරයේ නිර්මාණවලට තමයි මම සහභාගි වෙන්නේ. අනෙක මම ගුරුවරියක් නිසා මට තිබෙන කාලය සීමිතයි. දරුවන්ගේ ඉගැන්වීම් කටයුතුවලට බාධාවක් නොවන විදියට තමයි මම රංගන ඇරැයුම් භාර ගන්නේ.

තනියම නිර්මාණයක් අධ්‍යක්ෂණය කරන්න අදහසක් නැද්ද?

මම තනියම නාට්‍යයක් කරයි කියලා හිතන්නේ නෑ. මොකද මම හා සම්පත් එකටමයි කටයුතු කරන්නේ. මම පාසලේ වැඩක් කළත් සම්පත් ඇවිත් උදවු කරනවා. ඉතින් මම එයාගේ උදවු බලාපොරොත්තු වෙනවා.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon