හාල් ප්‍රශ්නය ගැන අමාත්‍යාංශ ලේකම් 'මව්බිම'ට කතා කරයි

  👤  1981 readers have read this article !
Published by : MB WEB 2017-02-17 10:31:10

පණ්ඩුක සමරසේකර

සහල් සඳහා පාලන මිලක් නියම කිරීමෙන් පසු ලංකා සතොස අලෙවි සල් සහ වෙනත් සුපිරි වෙළෙද සල් ඇතුළු වෙළෙදසල්වල පාලන මිල යටතේ සහල් ලබාගත හැකි බවත් රටේ කිසිදු ආකාරයකින් හාල් හිඟයක් ඇති නොවන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශ ලේකම් චින්තක එස්. ලොකුහෙට්ටි මහතා මව්බිමට පැවසීය.

සතොස සහ ලක් සතොස හරහා ආනයනික සහල් තොග බෙදා හැරීමට කටයුතු කළ බවත්, අමතර ලොරි රථ 20ක් යොදාගෙන මේ කාර්ය ඉක්මන් කළ බවත් පැවැසූ ලේකම්වරයා සහල් මෙට්රික් ටොන් 73,000ක් රැගත් නැව් 3ක් ඊයේ වනවිට කොළඹ වරායට සේන්දු වී ඇති බවත් සඳහන් කළේය.

මියන්මාරය, පාකිස්තානය සහ ඉන්දියාවෙන් ආනයනය කරන ලද මේ සහල් තොග ගොඩබෑම දිවා රාත්‍රි අඛණ්ඩව සිදුකරන බවත් ඒවා ක්ෂණිකව සතොස ගබඩා හරහා පාරිභෝගිකයන්ට බෙදාහැරීමට කටයුතු කළ බවත් හෙතෙම "මව්බිම"ට පැවැසීය.

ඇතැම් සතොස වෙළෙඳසල්වලින් පාරිභෝගිකයන්ට ලබාදෙන සහල් ප්‍රමාණය සීමා කර තිබුණද ඊයේ දහවල් වනවිට එම සීමාවන්ද ඉවත දමා පාරිභෝගිකයන්ට අවශ්‍ය තරම් සහල් සැපැයීමට පියවර ගත් බවද පැවැසූ ලේකම්වරයා ඇතැම් සතොස අලෙවිසල්වල දෛනික සහල් අලෙවිය 8 ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවද කීවේය.

සුපිරි වෙළෙඳසල්වලින්ද සහල් තොග ඇණවුම් කර තිබූ බවත් කිසිදු හිඟයකින් තොරව එම වෙළෙඳසල්වලට සහල් තොග සැපැයීමට කටයුතු කළ බවත් අමාත්‍යාංශ ලේකම්වරයා පැවැසීය.

දැනට ආනයනය කර ඇති සහල් තොග රටේ පරිභෝජනය සඳහා මාස 3කට සෑහෙන බවත් වෙළෙඳුන් සහල් තොග සඟවාගෙන සිටින්නේ නම් එම සහල්ද මේ ආනයනය හේතුවෙන් වෙළෙඳ පොළට නිකුත් කිරීමට පෙලඹෙන බවත් පැවැසූ ලේකම්වරයා සමහර වෙළෙඳුන් රජය අපහසුතාවට පත්කිරීම සඳහා විවිධ උපාය මාර්ග අනුගමනය කරන බවත් සඳහන් කළේය.

ආනයනය කළ නාඩු කිලෝව රුපියල් 72ටත් රතු කැකුළු රුපියල් 70ටත් සම්බා රුපියල් 80ටත් සිල්ලර වෙළෙඳපොළේ ඕනෑතරම් මිලදී ගැනීමට හැකි බවත් සහල් ආනයනය කරන්නන්ට කිලෝවට රුපියල් 15ක්ව තිබූ තීරු බද්ද රුපියල් 10 දක්වා අඩු කරනු ලැබ ඇති අතර එහි වාසියද පාරිභෝගිකයාට ලබාදීමට ඉදිරියේදී හැකිවෙතැයි තමා අපේක්ෂා කරන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon