උන්මාද සඳ පායයි

  👤  2437 readers have read this article !
Published by : MB WEB 2017-02-16 15:00:23

ඔබ අලුත් ප්‍රසංගයකට සූදානම් කියලා ආරංචියි.

ඔව්. උන්මාද සඳ කියලා ප්‍රසංගයක් පවත්වනවා. ඒක 11 වැනිදා තමයි මුලින්ම පවත්වන්නේ.

උන්මාද සඳ ප්‍රසංගය සඳහා ඔබට ආරාධනා ලැබුණේ කොහොමද?

අසංගී දැනට වසරකට කලින් උන්මාද සඳ ගීතය මට ගෙනත් දුන්නා. මම ගීතය භාර ගත්තේ අලුත් කෙනකුට අත දීමේ අරමුණින්. ගීතයට රූප රචනාවක් කළෙත් ඒ අයමයි. ගීතය පටිගත කර මාධ්‍යයට නිකුත් කළාට පස්සේ උන්මාද සඳ නමින් ප්‍රසංගයක් කරමු කියලා අසංගී මට යෝජනා කළා. ඇගේ අදහස වුණේ ඒ තුළින් ගීතයත් ජනප්‍රියත්වයට පත් වෙයි කියලා.

• උන්මාද සඳ ඒක පුද්ගල ප්‍රසංගයක්ද?

ඔව්. මේක ඒක පුද්ගල ප්‍රසංගයක්. මේ ප්‍රසංගය විශේෂ ඉල්ලීමක් අනුවනේ කරන්නේ. ප්‍රසංගයේදී, තියෙන එකම විශේෂත්වය වන්නේ, උන්මාද සඳ ගීතය පමණයි. හන්තානෙට පායන සඳ ප්‍රසංගයේ ගායනා කරන ගීතම තමයි මෙහිදී ගායනා කරන්නෙත්. ඒ අනුව මම ගීත විසි හතරක්ම මේ ප්‍රසංගයේදී ගායනා කරනවා.

• උන්මාද සඳ ගීතය ගැන කතා කළොත්?

ගීතයේ අන්තර්ගතය විශිෂ්ටයි. අසංගි අංජු විජේසූරිය ගීතය ලිව්වේ. සංගීතය ආශා විජයන්ති වීරසිංහගේ. ඒ ගීතයටම ඔබින විශිෂ්ට තනුවක් නිර්මාණය වෙලා තිබෙනවා. තමන්ගෙන් වුණු වරදකට සමාව ඉල්ලීමක් තමයි මේ ගීතයේ අන්තර්ගතය වුණේ. ප්‍රවීණ සංගීතවේදී නාලක අංජන කුමාර, ගීතය පටිගත කිරීමෙන් සහාය වී තිබෙනවා.

• වසර 6කට පසුව ඔබ සහභාගි වූ පළමු ගීත රූප රචනාවත් මෙයමයි නේද?

මුලින්ම කාත් කවුරුවත් නෑ, සරස වසන්තය ගීත දෙකේම රූප රචනාවලට පෙනී හිටියා. වසර 6 කට පසුව මම රූප රචනාවකට පෙනී සිටින්නේ. අපි ගීතය රූගත කිරීම් කළේ බසවක්කුලම වැව් පරිශ්‍රයේ. ඒ පරිසරය ගීතයට ගැළපෙන විදියට නිර්මාණය වී තිබුණා.

• මේ ප්‍රසංගය නිසා "හන්තානෙට පායන සඳ" ප්‍රසංගයට මොකද වෙන්නේ?

මගේ ප්‍රධාන ප්‍රසංගය වුන 'හන්තානෙට පායන සඳ' ප්‍රසංගයට 'උන්මාද සඳ' ප්‍රසංගය බාධාවක් වන්නේ නැහැ. මගේ ප්‍රසංගය කොහොමත් කරන්න ඕනනේ. මම සහභාගි වන ප්‍රසංග අතරින් හන්තානෙට පායන සඳ ප්‍රසංගය මට විශේෂයි. නමුත් අසංගී මට ආරාධනා කළ නිසා මම මේ ප්‍රසංගයටත් සහභාගි වෙනවා.

• සමාජ සත්කාරයක් වෙනුවෙන් කරන ප්‍රසංගයක් නිසා ඔබ යම් කැප කිරීමක් කරන්න ඇති?

සාමාන්‍යයෙන් මම ගන්න මුදලට වඩා මේ ප්‍රසංගයේදී ගන්න මුදල අඩුවනවා. මම මුදලක් කිව්වා. මම කියන්නේ සියලු දෙනාගෙම මුදල්නේ. ලයිට් හදන අය, සංගීත කණ්ඩායම්වලට ඇතුළුව ප්‍රසංගයට සහභාගී වන සියලුම දෙනාට මේ මුදල් බෙදෙනවා. මම විතරක් තනියම ගන්න මුදලක් නෙවෙයි. නමුත් මේ ප්‍රසංගයේ, සමාජ සේවාව ගැන හිතලා මම මගේ මුදල අඩු කළා. සමාජ සත්කාරක ප්‍රසංගයක් නිසා මම බොහොම කැමැත්තෙන් ප්‍රසංගයට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.

• ඔබ දිගටම උන්මාද සඳ ප්‍රසංගයට සහභාගි වනවාද?

අසංගී ඒ ගැන මාත් එක්ක කතා කළා. මගේ දින වකවානු බලලා මට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා විතරයි මම කිව්වේ. හන්තානෙට පායන සඳ ප්‍රසංගය නොමැති කාලසීමාවේ, වගේම අනෙකුත් ගීත පටිගත කිරීම් නොමැති කාලසීමාවේ මට උන්මාද සඳ ප්‍රසංගය සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්.

• ප්‍රවීණයෙක් විදියට අලුත් පරපුරේ ගමන් මඟ ගැන ඔබට විවේචන තියෙනවද?

අලුත් පරපුර විවේචනය කරන්න බෑ. තරුණ අවධියේදී ඒ අය අලුත් අලුත් දේ කරනවානේ. අපිත් එහෙම දේවල් කළානේ. අපිත් ඔය අවධිය පසු කළ අය තමයි. ඒ නිසා අපි ඒ අයට එයාලගේ ගමන යන්නට ඉඩ දිය යුතුයි. නමුත්, අපිත් අපේ උපදෙස් අවශ්‍ය තැනදී ඔවුන්ට ලබාදෙනවා.

හංසි ආටිගල

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon