වික්ටර් රත්නායකයන් වජ්‍ර ප්‍රභාවෙන් ඔබ අතරට

  👤  2373 readers have read this article !
Published by : MB WEB 2017-02-15 12:30:44

• '' ප්‍රසංගයට සමුදුන්න ඔබ වජ්‍ර ප්‍රභාවෙන් නැවතත් රසිකයන් අතරට එන්නද බලාපොරොත්තුව?

'ස' ප්‍රසංගයට වඩා වජ්‍ර ප්‍රභාව වෙනස් ප්‍රසංගයක්. මම මේ ගැන විවරණයක් කරන්න ඕන. ඇත්තෙන්ම මගේ 75 වැනි ජන්ම දිනය වෙනුවෙන් කරන මේ සමරු ප්‍රසංගය 'ස' ප්‍රසංගය වගේ දිගින් දිගටම යන ප්‍රසංග මාලාවක් නම් නෙවෙයි. වජ්‍ර ප්‍රභාව මගේ ජන්ම දිනය වෙනුවෙන් කරන සමරු ප්‍රසංගයක් විතරයි.

• මේ ප්‍රසංගය වජ්‍ර ප්‍රභාව නමින් නම් කරන්න විශේෂ හේතුවක් බලපෑවද?

මෙහෙමයි. ඉංගී්‍රසි සංස්කෘතියෙ සමහර දේවල් අපිට අමතක කරන්න බැහැ. 75 වැනි සැමරුම ඉංගී්‍රසියෙන් ඩයමන්ඩ් ජුබිලි කියලා හඳුන්වන්නේ. මගේ 75 වැනි ජන්ම දිනය නිසා ඒ අදහස අරගෙන, දියමන්තිය සංස්කෘත භාෂාවේ වජ්‍ර කියලා හඳුන්වන නිසාත් වජ්‍ර ප්‍රභා නමින් මේ ප්‍රසංගය නම් කළේ මැදගොඩ අභයතිස්ස හිමියන්. දියමන්ති දිස්නය කියන අදහසින් තමයි ප්‍රසංගයට ඒ නම තිබ්බේ.

• වජ්‍ර ප්‍රභාවේ රශ්මිය අපිට ළඟදීම විඳගන්න අවස්ථාවක් ලැබෙයි නේද?

ඔව්. පෙබරවාරි 18 වැනිදා සවස 7.00ට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී තමයි වජ්‍ර ප්‍රභාව ප්‍රසංගය පවත්වන්නේ. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි ප්‍රසංගය පැවැත්වෙන්නේ.

• වජ්‍ර ප්‍රභාව ඔබේ රසිකයන්ට අලුත් අත්දැකීමක් වෙයිද?

ඔව්. මේ ප්‍රසංගය 'ස' ප්‍රසංගයට වඩා වෙනස් ව්‍යුහයක් ගන්නවා. 'ස' ප්‍රසංගයේදී ගයපු ගීත පසුව සී.ඩී., ඩී.වී.ඩී. තැටිවලටත් ආවා. මේ ගීත තැටිවල නැති ගීත 20ක් මගේ වජ්‍ර ප්‍රභාවෙන් රස විඳින්න පුළුවන්. මම හරිම අමාරුවෙන් තමයි මේ ගීත කිහිපය තෝරා ගත්තේ. මම එතරම් නොගැයූ ගීත කීපයක්ම මේ ප්‍රසංගයේ අහන්න ලැබෙන නිසා මගේ වෙනදා ප්‍රසංගවලට වඩා වෙනස් අත්දැකීමක් වජ්‍ර ප්‍රභාවේදී අනිවාර්යයෙන්ම රසිකයන්ට විඳින්න පුළුවන්.

• වජ්‍ර ප්‍රභාවේ වෙනස් අත්දැකීම ප්‍රසංග මාලාවක් දක්වා රැගෙන නොයන්නේ 'ස' ප්‍රසංගයට අසාධාරණයක් වෙන නිසාද?

නැහැ. මම වජ්‍ර ප්‍රභාවෙන් මගේ ජන්ම දින සමරු ප්‍රසංගය කළාට 'ස' ප්‍රසංගය වගේ ප්‍රසංග මාලාවක් කරන්න මට අදහසක් නැහැ. මම 'ස' ප්‍රසංගයට සමුදුන්නේ රසිකයන්ව දැනුවත් කරලා. අපිට හැමදාම ප්‍රසංග කරන්නත් අමාරුයිනේ. වයස් ගත වීම නිසා අපිට සමහර දේවල්වලින් කාලයත් එක්ක අෑත් වෙන්න වෙනවා.

• හැත්තෑ පස්වැනි ජන්ම දිනය වෙනුවෙන්, ප්‍රසංගයට සමගාමීව තවත් බොහෝ දේවල් සිදුවෙනවා කියලා ආරංචියි?

ඔව්. වජ්‍ර ප්‍රභාව ප්‍රසංගයට සමගාමීව මගේ ගීත 18ක් ඇතුළත් සී.ඩී. තැටියක් වගේම සිසිර දිසානායක අතින් ලියවුණ 'වික්ටර් ගී විමන්සා' කෘතියත් එළිදක්වන්නට සූදානම්. සී.ඩී. තැටිය 'ඔබේ සිනා හැම තැනකම' නමින් තමයි එළිදැක්වෙන්නේ.

• කෘතියක් එළිදැක්වීම ඔබේ අදහසක්ද?

නැහැ. පද රචක සිසිර දිසානායකගේ තමයි මේ අදහස. 'වික්ටර් ගී විමන්සා' මගේ ගීත ගැන ලියවුණ පර්යේෂණ ග්‍රන්ථයක්. මගේ නිර්මාණවල සියලුම විස්තර, ඒවා නිර්මාණය වුණ විදිය හා සාර්ථකත්වය ගැන එතුමාගේ අදහසක් විදියට තමයි මේ පොත ලියලා තියෙන්නේ.

• ඔබේ නමින් වෙබ් අඩවියකුත් එළිදැක්වෙනවා නේද?

ඔව්. මං ගැන සියලුම විස්තර වෙබ් අඩවියෙන් රසිකයන්ට දැනගන්නත් පුළුවන්. සංගීතය ගැන විතරක්ම නෙවෙයි. මගේ උපන් දිනයේ පටන් මේ වන තෙක් මගේ ජීවිතේ සුවිශේෂී හැම දෙයක්ම මේ හරහා දැක බලා ගන්න පුළුවන්.

• ඔබේ ගීතවලට තාමත් රසිකයන් ආදරය කරනවා. ඒ තරම් රසික ප්‍රතිචාරයක් තිබියදීත් ඔබ ඒකපුද්ගල ප්‍රසංග වේදිකාවෙන් සමු ගන්න තීරණය කළේ ඇයි?

ජනතාව අපෙන් ගීත බලාපොරොත්තු වුණත් අපිට මහලු වෙන එක නවත්වන්න බැහැනේ. මම ඒකපුද්ගල ප්‍රසංග වේදිකාවෙන් සමුගත්තේ ගයන්න බැරි නිසා නෙවෙයි. ඒත් ගායන ශිල්පියෙක්ට ඕන වෙන්නේ රසිකයන්ගේ ගෞරවය මිසක් අනුකම්පාව නෙවෙයි. කලාකරුවෙක්, තමන්ගේ ගෞරවය රඳවා ගන්න හැකිතාක්, නිසි ස්වර මත පිහිටා උච්චාරණය කරන්න පුළුවන්තාක් විතරක් කලාවේ ඉන්න එක තමයි වැඩිය සුදුසු.

ශාලිකා රංගනි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon