ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2000ක් සමඟින් පෙබරවාරි 25 සිට 27 දක්වා දියගමදී

  👤  1557 readers have read this article !
Published by : MB WEB 2017-02-15 11:01:19

කෝසල ගමගේ

ගේට්වේ ජාත්‍යන්තර පාසල් ජාලයේ අධිපතිව සිටි, අභාවප්‍රාප්ත ආර්.අයි.ටී. අලස් මහතාගේ අදහසක් අනුව 2001 වසරේදී පළමු වරට පැවැත්වූ ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ 17 වැනි දිගහැරුම නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සත්කාරකත්වයෙන් මෙවර පෙබරවාරි 25 සිට 27 දක්වා දින තුනක් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොද තිබේ.

ජාත්‍යන්තර පාසල් අතර පැවැත්වෙන විශාලතම වැඩසටහන වන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා අන්තර්ජාතික පාසල් සංගමයට අනුබද්ධිත පාසල් 25න් 24ක්ම සහභාගි වීම කැපීපෙනෙන සිදුවීමක් වන අතර එම පාසල් 24 නියෝජනය කරමින් මෙවර තරගාවලිය සඳහා ජවන හා පිටිය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2000කට අධික පිරිසක් ඉසව් 130ක් යටතේ තරග වැදීමට නියමිතය.

2016 වසරේදී මෙන්ම මෙවරද පියර්සන් _ එඩෙක්සෙල් (pearson -edexcel) ආයතනයේ ප්‍රධාන අනුග්‍රාහකත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ශක්තිමත් කිරීම සඳහා චොක්ලට් නිෂ්පාදනයේ සුවිශේෂී කීර්ති නාමයක් දිනා ඇති සිලෝන් බිස්කට් සමාගමේ රෙවෙල්ලෝ චොක්ලට් ආයතනය දෙවැනි විශාලතම අනුග්‍රාහකත්වය පිරිනැමීමට ඉදිරිපත්ව සිටින අතර ශ්‍රී ලංකාවේ මැක්ඩොනල්ඩ් කණ්ඩායමද විශේෂ අනුග්‍රාහක දායකත්වයක් ලබා දෙමින් තරගාවලිය ශක්තිමත් කිරීමට දායක වී තිබේ.

2001 වසරේදී ආරම්භ කෙරුණු මෙම තරගාවලියේ පළමු අදියර 3, එනම් 2003 වසර දක්වා ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සත්කාරකත්වයෙන් පැවැති මෙම තරගාවලියේ සත්කාරකත්වය වසර 3කට වරක් ගේට්වේ සහ ලයිසියම් ජාත්‍යන්තර පාසල් අතර හුවමාරු කර ගැනීම සඳහා එකඟතාවකට පැමිනුණි. ඒ අනුව 2004 වසරේදී පළමු වරට ලයිසියම් ජාත්‍යන්තර පාසල ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරගාවලියට සත්කාරකත්වය ලබා දුන් අතර අදාළ එකඟතාව අනුව ලයිසියම් ජාත්‍යන්තර පාසල මෙවර තම සත්කාරකත්වය පිරිනමනු ලබනුයේ 8 වැනි වරටය.

අන්තර් ජාතික මලල ක්‍රීඩා සම්මේලනයේ නීති හා රෙගුලාසි යටතේ පවත්වනු ලබන මෙම තරගාවලිය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ විනිසුරුවරුන් 300කට වැඩි පිරිසකගේ අධීක්ෂණය යටතේ පැවැත්වීමට නියමිත අතර මෙම තරගාවලියට අදාළ අතීත තොරතුරු මෙන්ම මෙවර තරගාවලියේ දත්ත ඇතුළත් කොට නිර්මාණය කෙරුණු http://isac.lyceum.lk නම් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට ද තරගාවලියේ සංවිධායකයන් පියවර ගෙන තිබේ.

මෙම තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීම හා අනුග්‍රාහක චෙක්පත් පිරිනැමීම සඳහා පසුගියදා නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල් පරිශ්‍රයේදී පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් අදහස් දැක්වූ ලයිසියම් පාසල් සමූහයේ අධ්‍යක්‍ෂ නිකිත ගේ‍ර්රු මහතා පැවැසුවේ සැබෑ ක්‍රීඩාශීලිත්වය වන්නේ පරාජය හමුවේ සාර්ථකව මුහුණ දීමට ඉගෙන ගැනීම බවත් තරගකරුවන්ගේ ඉලක්කය විය යුත්තේ, සෑම කල්හිම සර්ව සාධාරණව ජය ගැනීම බවත්ය.

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon