උසේන් බෝල්ට්ගේ පුහුණුකරුගෙන් පුහුණු වෙන්න හිමාෂ ඒෂාන් මාස 6කට ජැමෙයිකා යයි

  👤  2016 readers have read this article !
Published by : MB WEB 2017-02-15 10:30:12

කෝසල ගමගේ

ලොව වේගවත්ම මිනිසා ලෙස කිරුළු පැලඳ සිටින කෙටි දුර ධාවන ශූර ජැමෙයිකාවේ උසේන් බෝල්ට්ගේ පුහුණුකරු වන ග්ලේන් මිල්ස් යටතේ මාස 6ක පුහුණුවක් සඳහා ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර හිමාෂ ඒෂාන් පසුගියදා ජැමෙයිකාව බලා පිටත්ව ගියේය.

ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ ශිෂ්‍යත්වයක් හිමිව එසේ මාස 6ක පුහුණුවක් සඳහා ජැමෙයිකාව බලා පිටත්ව ගිය හිමාෂ ලබන අගෝස්තු මස දක්වා ජැමෙයිකාවේ රැඳී සිටීමට නියමිතය. කෙසේ වෙතත් එළඹෙන ජුනි මස 1 වැනිදා සිට 4 වැනිදා දක්වා ඉන්දියාවේ රන්චි හිදී පැවැත්වීමට නියමිත ආසියානු ශූරතාවලියට සහභාගි වීම සඳහා ඉමාෂ නැවතත් පැමිණීමට නියමිත අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත අන්තර් ජාතික මලල ක්‍රීඩා සම්මේලන ලෝක ශූරතා තරගාවලියේදී මීටර් 100 ඉසව්ව නියෝජනය කිරීම සඳහා ජූලි මස 23 වැනිදාට ප්‍රථම සුදුසුකම් ලබා ගැනීමේ පරිසාධන මට්ටම වන තත්.10.12ක දක්ෂතාවක් සපුරා ගැනීම තම මූලික අභිප්‍රාය බව හිමාෂ එෂාන් පුහුණු සංචාරයට එක්වීමට ප්‍රථම සඳහන් කළේය.

පසුගිය වසරේ පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 100 ඉසව්ව තත්.10.26කින් අවසන් කරමින් රන් පදක්කම දිනා ගත් ඒෂාන් එහිදී මීටර් 100 ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව මෙන්ම දකුණු ආසියානු වාර්තාවද බිඳ හෙළීමට සමත් විය.

ජැමෙයිකාව බලා පිටත්වීමට මොහොතකට පෙර 'මව්බිම'ට අදහස් දක්වමින් ඒෂාන් කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ පුහුණුවීම් කිරීම සඳහා නිසියාකාර ක්‍රීඩා පිටියක් හෝ නොමැති මොහොතක මෙවැනි ශිෂ්‍යත්වයක් ලැබීම පිළිබඳව තමා අතිශය සතුටට පත්වන බවය.

තවද "මම මේ ශිෂ්‍යත්වය ලැබූ විගස මගේ පුහුණුකරු චමින්ද පෙරේරා මහතා සමඟ සාකච්ඡා කළා. එවෙලෙහි ඔහුගේ අදහස වුණෙත් මම ජැමෙයිකාව බලා පිටත්ව ගොස් ලොව සිටින වේගවත්ම ක්‍රීඩකයාගේ පුහුණුකරුගෙන් පුහුණුව ලැබීම කාලෝචිත ක්‍රියාවක් බව. ඇත්තටම මමත් හිතනව මිල්ස් මහතා යටතේ ජැමෙයිකාවේදී මා ලබන පුහුණුව මගේ වේගය වැඩි කර ගැනීමට ලොකු සහයෝගයක් වෙයි කියල" යනුවෙන් වැඩි දුරටත් පැවැසීය.

ශ්‍රී ලංකාව තුළ මේ වන විට කැපීපෙනෙන දස්කම් දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විදේශ පුහුණුවීම් සඳහා යොමු කිරීමට අවශ්‍ය අරමුදල් ලබාදෙන මෙන් හිමාෂ ඒෂාන් සහ ඔහුගේ පුහුණුකරු මින් පෙරද ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර තිබුණද ඉන් සාර්ථක ප්‍රතිඵල අත් කර ගැනීමට නොහැකි වූ අතර තරග නොපැවැත්වුණු කාල සීමාව තුළ නුවරඑළියේදී පුහුණුවීම් කටයුතු සිදු කිරීමට අවශ්‍ය මුදල් ලබා දීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon