මගේ දේශපාලනය රංගනයට අදාළ වෙන්නේ නෑ

  👤  2926 readers have read this article !
Published by : MB WEB 2017-02-14 14:30:34

කමල් අයියා කියලා කතා කරන්නද? විජේවීර සහෝදරයා කියලා කතා කරන්නද?

කමල් සහෝදරයා කියලා කතා කරන එක කොයිකටත් වඩා හොඳයි.

මේ දවස්වල ඔබ රෝහණ විජේවීරව ජීවත් කරවනවා නේද?

මම අනුරුද්ධ ජයසිංහගේ 'ගින්නෙන් උපන් සීතල' කියන චිත්‍රපටයට මේ දවස්වල සම්බන්ධ වෙනවා. ඒ චිත්‍රපටයේ මම නිරූපණය කරන්නේ ඔහුගේ චරිතය.

ඔබේ දේශපාලනයත් දැන් වෙනස් වෙලාද?

මගේ පෞද්ගලික දේශපාලනයක් දැක්මක් තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නෑ. ඒක චිත්‍රපටයට ගැටලුවක් වුණෙත් නැහැ.

මේ වගේ නිර්මාණයක් තෝර ගනිද්දී තමන්ගේ දේශපාලනය බලපෑමක් කළේ නැද්ද?

මම චරිතයක් භාර ගනිද්දී මගේ දේශපාලනය ඒකට අදාළ වෙන්නේ නැහැ. නිර්මාණයක තියෙන මානුෂීයකම, මානව හිතවාදීකම වගේම නිර්මාණාත්මක පැත්ත ගැන තමයි මම බලන්නේ. ඒ දේවල් තිබ්බොත් තමයි ඒ නිර්මාණයට අනුගත වෙන්න පහසු වෙන්නේ.

සිනමාවේ ප්‍රධාන චරිතයකට දායක වෙන්නෙත් කාලෙකට පස්සේ නේද?

ඔව්. කලර් චිත්‍රපටයට පස්සේ ප්‍රධාන චරිතයක් කරන්නේ මේ චිත්‍රපටයේ. මම හිතන්නේ අවුරුදු හතරකට විතර පස්සේ තමයි ප්‍රධාන චරිතයක් මම නිරූපණය කරන්නේ.

එච්චර කාලයක් ප්‍රධාන චරිතයක් ලැබුණේ නැද්ද? නැත්නම් ඔබේ තෝරා ගැනීම් ඇතුළේ නිර්මාණ ප්‍රතික්ෂේප කළාද?

ප්‍රධාන චරිතවලට කතා කරපු අවස්ථා තිබුණා. නිර්මාණයක මානව හිතවාදීකමක්, නිර්මාණශීලී බවක්, මානුෂීය හේතූන් තියෙන්න ඕන රඟපාන්න. නිර්මාණාත්මක අගයක්වත් නැත්නම් මම ඒ නිර්මාණවල රඟපාන්නේ නෑ.

ලැබෙන ආරාධනා ප්‍රතික්ෂේප කළාම හිත් අමනාපකම් වෙනවත් ඇති?

ඔව්. හිත් අමනාපකම් ඇති වෙනවා. හැමෝම සතුටු කරන්න අපිට බෑනේ. මම කලාව කරන්නේ මම වෙනුවෙන් නෙවෙයි. මිනිසුන් වෙනුවෙන්. ඉතින් මිනිස්සු වෙනුවෙන් කරන දේ පිරිසුදුවට කරන්න ඕන.

තමන් වෙනුවෙන් කලාව කරන්නෙම නැද්ද?

මම ගැන හිතලා කලාව කරනවට වඩා මේ ලැබිච්ච ජීවිතේ අර්ථවත් දෙයක් කරන එක හොඳයි. කලාව කියන්නෙත් අර්ථවත් දෙයක්. නමුත් මේ ලැබුණ ජීවන ගමන උදෙසා දෙයක් කිරීම වැදගත්. මොකද හැමදේම තාවකාලිකයිනේ. මිනිසුන්ට ආදරෙන් කලාව කරන නිසා හැම ජරාවකම රඟපාන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

ආර්ථිකමය පැත්ත ගැන හිතුවොත්නේ හැම නිර්මාණයකටම සම්බන්ධ වෙන්නේ. ඔබට එහෙම හිතන්න අවශ්‍යතාවයක් නැද්ද?

මම ආර්ථිකය පැත්ත ගැන හිතලා වෙන දේවල් කරනවා. කලාව බිස්නස් එකක් වුණාට මම කලාව බිස්නස් එකක් කරගන්නේ නැහැ.

නිර්මාණයක් භාර ගනිද්දී මුදල්මය වටිනාකම ගැන නොහිතනවා නෙවෙයිනේ?

මම ඒ පැත්ත අනිවාර්යයෙන්ම හිතනවා. හැබැයි නිර්මාණයේ ගුණාත්මක පැත්ත ඉහළ නම් මම මුදල දෙවැනි තැන තියන්නේ.

අද කාලේ නිර්මාණ එකක දෙකක රඟපාපු නළුවොත් අධ්‍යක්‍ෂණයට අතගහනවා. ඔබට අධ්‍යක්‍ෂණයට එන්න අදහසක් නැද්ද?

ඒක ඕන වෙලාවක කරන්න පුළුවන්. හැබැයි මට ඒ වෙනුවෙන් මානසිකත්වයක් නැහැ. චිත්‍රපට කලාව ගොඩනඟන්න හොඳ නිර්මාණ අවශ්‍යයි. ඒවා පෙන්වන්නත් යටිතල පහසුකම් අවශ්‍ය වෙනවා. ඒවා හැදෙන්නේ නැතිව කාලය අපතේ හරින එක අපරාදේ.

කමල් අද්දරආරච්චි කියන්නේ දක්‍ෂ නළුවෙක්. හැබැයි ඔහුගෙන් හරි හමන් වැඩක් අරගෙන නෑ කියලා බොහෝ දෙනා කියනවා. ඔබටත් ඔබ ගැන එහෙම හිතෙනවද?

ක්‍ෂේත්‍රයේ වැඩ කරන අයට තව යමක් කරන්න පුළුවන්. එහෙම කරගන්න බැරි වෙන්නේ කර්මාන්තයේ තියෙන කඩා වැටීම නිසා. ඒක මට විතරක් නෙවෙයි අනෙක් අයටත් බලපාන කාරණයක්.

රියැලිටි වැඩසටහන්වල ඔබට ලොකු වටිනාකමක් හැදිලා නේද?

මට රියැලිටි වැඩසටහන් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නැහැ. නාළිකා තමන්ගේ නාළිකාව, වැඩසටහන් ජනප්‍රිය කරගන්න මම වගේ අයව පාවිච්චි කරනවා.

ඔබ නාළිකාවෙන් නාළිකාවට පනිනවා කියලත් සමහරු කියනවා?

එහෙම කිව්වට කරන්න දෙයක් නැහැ. මේකම දිගටම කරගෙන ඉන්න කියලා කවුරුත් කියන්නේ නෑනේ. මට මාස්පතා ගෙවනවා කියලා කවුරු හරි කියනවා නම් ඒක කමක් නෑ. බොරුවට කියවන අය විතරයි ඉන්නේ. කරන අයට කරන්න දෙන්නේ නෑ. මම මට ඉල්ලුම තියෙන තැනට යනවා.

ආයෙත් පුංචි තිරයේ නිර්මාණවලට රංගනයෙන් දායක වෙන්න අදහසක් නැද්ද?

මම අවුරුදු දහයකින් විතර ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණේ නැහැ. මෙගා නාට්‍යය නම් මම කරන්නේ නෑ. මට ලැබුණ සමහර පිටපත් මෙලෝ වැඩක් නෑ. ඉතින් ඒ නිසා මම ඒ ලැබුණ ආරාධනා මඟහැරියා.

'රඟපෑම් ඉවරයි' වේදිකා නාට්‍යයෙන් පස්සේ ඔබේ වේදිකා රඟපෑමත් ඉවර කළාද?

නැහැ. මම ඊට පස්සේ වේදිකා නට්‍යයකට සම්බන්ධ වුණේ නැහැ. හොඳ දෙයක් ලැබුණොත් කරනවා.

පුතාත් ඔබ වගේම රංගන ක්ෂේත්‍රය තෝරා ගනියිද?

එයා කලාවට උනන්දුයි. තාම ඉතින් එයා කොයි පාරේ යයිද කියලා හිතාගන්න බැහැ. පුතා රංගනය තෝරා ගත්තොත් මම ඒ පාරේ යන්න ඉඩ දෙනවා.

මොනවද ඉදිරි වැඩ?

මේ දවස්වල ස්ටුඩියෝවක් හදාගෙන යනවා. ඉදිරියේදී ඒ වැඩත් පටන් ගන්නවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
ඡායාරූප - නුවන් අමරවංශ
අසන්ත ගමආරච්චි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්