ලංකාව හුරුපුරුදු තැනක් වගේ දැනුණා

  👤  3249 readers have read this article !
Published by : MB WEB 2017-02-11 13:22:28

20 වැනි සියවස මුල් භාගයේ ජපානයේ දුගී ගොවි පවුලක ජීවත් වූ දිරිය දියණියකගේ කතාවකි ඔෂින්. ඔෂින් කතාවට පාදක වන්නේ ජපන් කාන්තාවක් වුවත් එය මුළුමහත් ලෝකයේම කාන්තාවන් මුහුණ දෙන සමාජ අත්දැකීම් පොදුවේ නිරූපණය කරන ලද්දක්. ශ්‍රී ලාංකේය ප්‍රේක්‍ෂකයන්ගේ ආදරය දිනාගත් මෙම කතා මාලාවේ කුඩා ඔෂින්ගේ චරිතය නිරූපණය කළ 'අයකෝ කොබයෂි' පසුගිය පෙබරවාරි 2 වැනිදා ලංකාවට පැමිණියා. මේ ඇය සමඟ කළ කතාබහයි.

• ලංකාවට පැමිණි මේ අවස්ථාව ඔබට දැනෙන්නේ කොහොමද?

මම ලංකාවට ආවේ පළමු වතාවට. පළමු වතාවට ආවත් මම කලින් ලංකාවට ඇවිත් තියෙනවා වගේ හැඟීමක් දැනුණා. ලංකාවේ කාලගුණයටත් මම ආසයි.

• මේ දවස්වල ඔබේ ගම් ප්‍රදේශයේ දේශගුණික තත්ත්වය කොහොමද?

මගේ ගම ටෝකියෝ. මේ දවස්වල ටෝකියෝවල ගොඩක් සීතල තත්ත්වයක් තියෙන්නේ. ලංකාවේ කාලගුණයට වඩා එහේ කාලගුණය ගොඩක් වෙනස්.

• ඔෂින් චරිතයට ඔබ සම්බන්ධ වුණ අතීතය ගැනත් මතක් කරමු?

ඔෂින් චරිතය මම රඟපෑවේ වයස අවුරුදු දහයෙදි. එතකොට මම 4 ශේ්‍රණියේ.

• ඊට පසුව ඔබ රඟපෑ වෙනත් නිර්මාණ මොනවාද?

ඊට පසුව මම ඔෂින් චිත්‍රපටයේ රඟපෑවා. එහි කළේ ඔෂින්ගේ කුඩා කාලයේ චරිතය නෙවෙයි. ඔෂින්ගේ නිවෙසේ ගෙහිමියාගේ බිරියගේ චරිතය. ඊට පසුව තවත් සිනමා නිර්මාණවල රඟපෑවා.

• ඒ කාලයේ වගේම වර්තමානයේදීත් ඔෂින්ගේ චරිතයට ජපානය තුළ ප්‍රතිචාර ලැබෙනවාද?

ඔව්. හැමෝම ඒ නාට්‍යයට එදා තරම්ම අදත් ආදරෙයි. ඒ වගේම මම ලංකාවට ආපු වෙලාවේ ඔෂින් චරිතය රඟපෑ කුඩා දැරිය මටත් වඩා හොඳට ඒ රංගනය කළා. ඇය දක්‍ෂයි. ඇගේ රංගන කටයුතුවලටත් මම සුබ පතනවා.

• ඔබ වෘත්තීය රංගන ශිල්පිනියක්ද?

ඔව්. මගේ වෘත්තීය රංගනය. ඒකට මම ගොඩක් ආසයි. ගොඩක් තෘප්තිමත්ව කරන රැකියාවක්. කලා කටයුතු කරද්දී මගේ හිත ගොඩක් සැහැල්ලු වෙනවා.

• ඔබගේ විනෝදාංශ මොනවාද?

මම ගොඩක් ආසයි ටීසෙරමනි (තේ උත්සව) සංවිධානය කරන්න. කඳු නඟින්න, විනෝද චාරිකා යන්නත් මම ගොඩක් කැමැතියි.

• ලංකාවේ මොන දේවල් වලටද ඔබ වඩාත් කැමැති?

ලංකාවේ සංස්කෘතික අංගවලට මම ගොඩක් ආස හිතුණා. ඒ වගේම ලංකාවේ මිනිසුන්ටත් මම ගොඩක් ආසයි. ලංකාවේ අය මට මේ තරම් ආදරේ ඇති කියලා හිතුවේ නැහැ. ලංකාවේ අය ඔෂින් නාට්‍ය ආදරෙන් වැලඳගෙන ඇති බව දැක්කම ගොඩක් සතුටුයි. ඒකට මම ලංකාවේ හැමෝටම ස්තුති කරනවා.

• ලංකාවේ නවතින්න කැමැති නැද්ද?

ආසයි. ඒත් මම මගේ රටට යන්න ඕනේ. නැවතත් මම ලංකාවට ඇවිත් යන්න එනවා. මම ආදරෙයි ලංකාවට.

• ඔබේ ඉදිරි වැඩ කටයුතු මොනවාද?

මගේ රංගන කටයුතු කරගෙන සතුටින් ඉන්නවා. මගේ රසිකයෝ හැමෝටම ආදරෙයි.

දුලානි බාලසූරිය, අකිලා නදීශානි බණ්ඩාර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon