මම ආයෙත් වැඩ පටන් ගත්තා

  👤  2687 readers have read this article !
Published by : MB WEB 2017-02-10 14:51:03

ගයාන් මේ දවස්වල කාර්ය බහුලයි වගේ?

ඔව්. ටික කාලෙකට පස්සේ තුෂාරි අබේසිංහගේ පත්තිනි වගේම ආදර දඩයම ටෙලිනාට්‍යවලත් දැන් වැඩ කරනවා. තව වැඩ කිහිපයකටත් ආරාධනා ලැබිලා තියෙන්නේ.

පසුගිය කාලෙ ගයාන් වැඩිය පේන්න හිටියේ නෑනේ....?

2014 වෙනකන් මට ගොඩාක් ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබුණා. ඒත් පස්සේ ටෙලි නාට්‍යවලට දායක වුණේ අඩුවෙන්. ඒකට හේතු කීපයක්ම තිබුණා. නියමිත මුදල ලැබෙන්නෙ නැහැ. නැත්නම් හරි පිටපතක් නැහැ. මගේ නිර්මාණවල අවුරුදු 2කට ආසන්න කාලයක් වැඩ කළ නිසා අනෙක් වැඩ කරන්න කාලෙත් මදිවුණා. මට චරිතවලට ආරාධනා ලැබුණත් ඒකාකාරී නිසා මම භාර ගත්තෙ නැහැ. ඒ නිසා තමයි මාව ප්‍රේක්ෂකයන්ට ටෙලිවිෂන් එකේ කාලයක් දකින්න නැති වුණේ.

ගයාන්ට වැඩ නැති වුණේ අධ්‍යක්ෂවරයෙක් විදියට වැඩ කළ නිසා නෙවෙයිද?

මට හිතෙනවා ඒකත් හේතු වෙන්න ඇති කියලා. මම නිර්මාණ අධ්‍යක්ෂණය කරන්න පටන් ගත්තම ගොඩාක් වැඩ එන එක අඩු වුණා. ඒත් මම කැමැතියි වෙන කෙනෙක් අධ්‍යක්ෂණය කරන නිර්මාණවල වැඩ කරන්න. මම මේ ක්ෂේත්‍රයෙන් අත්දැකීම් අරන් පෝෂණය වුණ කෙනෙක්. මේ කලාව ඇතුළෙමයි මම හැදුණේ. ඉතින් මම කැමැතියි වෙන කෙනෙක් මාව ඩිරෙක්ට් කරනවාට. ඒත් මම දන්නෙ නැහැ ඇයි එහෙම තේරීම් කරන්නේ කියලා.

දැන් ගයාන්ගේ අධ්‍යක්ෂණ වැඩ නැවතිලාද?

නැහැ. අධ්‍යක්ෂණ කටයුතු නැවතිලා නැහැ. ආත්මා ටෙලි නාට්‍යයෙන් පස්සේ 'සහේලි' කරන්න ලොකු කාලයක් ගියා. අලුත්ම ටෙලි නාට්‍යක් 'එකම රෑනේ කුරුල්ලෝ' නමින් ලබන මාසෙ පටන් ගන්නවා. මේක හාස්‍ය උත්පාදන නාට්‍යයක්. වෙනස්ම විදියෙ කතා තේමාවක් තියෙන්නේ. ඒ වැඩ නවතින්නේ නැහැ.

ගයාන්ගෙයි චතුරිකාගෙයි විවාහය ගැනත් හැමෝම බලන් ඉන්නවා. ඇයි තාම පරක්කු?

ඔව්. ගොඩාක් අය බලන් ඉන්නවා. සමහරු අපෙන් අහනවා ඒ ගැන. ඒත් පසුගිය කාලෙ අපිට හොඳ නැකැතක් තිබුණෙ නැහැ විවාහ වෙන්න. ඒක තමයි ප්‍රශ්නෙකට තිබුණේ. ඒත් මේ අවුරුද්දෙ මැද වෙනකොට නම් විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා.

නිර්මාණ කටයුතුවලට චතුරිකාගෙන් ලැබෙන සහයෝගය ගැන කිව්වොත්..?

එයා තමයි මට ඩිරෙක්ට් කරන්න කියලා මුලින්ම කිව්වේ. මේතරම් ඉක්මනින් මට ඒ දේවල් කරන්න ලැබුණෙත් චතුරිකාගෙ සහාය නිසයි. එයාත් මගේ ටෙලිනාට්‍ය කීපයකම වැඩ කරනවා. මගේ වැඩවලට නිතරම එයා උදවු වෙනවා. මාත් එහෙමයි.

අපි නිතරම ගයාන් දකින්නෙ ටෙලිනාට්‍යවලින්. සිනමාවට ආරාධනා ලැබෙන්නේ නැද්ද?

මම චිත්‍රපට 5ක් විතර කරලා තියෙනවා. ඒත් පසුගිය කාලේ නම් මට ආරාධනා ලැබුණෙ නැහැ. ඒත් මම ඒ ගැන පසු තැවෙන්නෙවත් ලැබෙන්න කියලා බෝධි පූජාවන් තියන්න යන්නෙවත් නැහැ. මට ටෙලිනාට්‍ය, සිනමාව, වේදිකාව මේ ඔක්කොම එකයි. එකම රංගනයක් තියෙන්නේ. මට එහෙම විශේෂයක් නැහැ. ආරාධනා ලැබුණොත් සිනමාවට එනවා. එහෙම නැති වුණත් ඉදිරියේදී මම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

අපිට ගයාන්ව ඉදිරියේදී දකින්න ලැබෙන නිර්මාණ ගැනත් කියමු?

චනික පෙරේරාගේ ටෙලිනාට්‍යයක් රූගත කිරීම් මේ දවස්වල කරනවා. ආදර දඩයම පත්තිනි කියන කතා දෙකම හො½ද තේමාවක් නිසා ප්‍රේක්ෂකයො අතරට යයි කියන බලාපොරොත්තුවක් තියෙනවා. හරිම ලස්සන කතා පිටපත් දෙකක්. ඒ වගේම මාර්තුවල ධම්මික තිසේරාගේ ටෙලි නාට්‍යයක වැඩ පටන් ගන්නවා. ඒක ගැමි පරිසරයක කතා තේමාවක්. ඒ වගේ ටෙලි නාට්‍ය කීපයක්ම ප්‍රේක්ෂකයන්ට ළඟදීම බලාගන්න පුළුවන්.

ශාලිකා රංගනී සමරදිවාකර
ඡායරූපය - අසන්ත ගමආරච්චි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon