'බොංචි ගෙදර ඉන්ද්‍රජාල' ළමයි වෙනුවෙන් කරපු වැඩක්

  👤  2223 readers have read this article !
Published by : MB WEB 2017-02-08 14:20:36

'බොංචි ගෙදර ඉන්ද්‍රජාල' ඔබේ අධ්‍යක්‍ෂණයක්. මුලින්ම ඔබේ පළමු ළමා නාට්‍ය අධ්‍යක්‍ෂණය ගැන කතා කරමු?

අපි පුංචි කාලේ බලපු ළමා නිර්මාණ, නිර්මාණාත්මකව යමක් හිතන්න උදවු කළ නිර්මාණ. නමුත් අපිට දැන් ළමා නාට්‍ය කියලා වැඩිපුරම දකින්න ලැබෙන්නෙත් ඉන්දියානු, කොරියානු නාට්‍ය. ළමයින්ගේ නිර්මාණාත්මක හැකියාව වැඩි දියුණු කිරීමට වගේම දැනුම, අවබෝධය, අධ්‍යාපනික මට්ටම වැඩි දියුණු කිරීමේ අරමුණෙන් තමයි බොංචි ගෙදර ඉන්ද්‍රජාල කියන නාට්‍ය අපි නිර්මාණය කළේ. සෑම සතියකම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා සවස 6.00ට අයි.ටී.එන්. නාළිකාවෙන් නාට්‍ය විකාශය වෙනවා.

මේක නාළිකාවේ ඉල්ලුමට ඔබ කළ සැපයුමක්ද?

අපි මේ නාට්‍ය නිර්මාණය කරලා නාළිකාවට ගිහින් දුන්නා. දැන් තියෙන ළමා නාට්‍ය බැලුවම ළමයින්ට අසාධාරණයක් වෙනවද කියලා හිතෙනවා. ඉතින් ළමයින්ගේ රසවින්දනය වෙනුවෙන් යමක් කරන්න හිතලා නිර්මාණය කරපු නාට්‍යට ස්වාධීන රූපවාහිනියෙන් ඉඩ ලබා දුන්නා. ඒ වෙනුවෙන් නාළිකාවටත් ස්තුතිවන්ත වෙන්න ඕන.

ඔබේ ටෙලි නිර්මාණවල තිර පිටපත බොහෝ විට ලියන්නේ මංජුල වෙඩිවර්ධන. ඔහුගේ පිටපත් නිර්මාණකරණයට ගන්න විශේෂ හේතුවක් තියෙනවාද?

සමනලුන්ට වෙඩි තියන්න, ඇහිපිල්ලමක් යට කියන නාට්‍ය දෙක ලිව්වෙත් මංජුල. මේ නාට්‍ය ලිව්වෙත් මංජුල. මංජුලගේ ලියවිල්ලට මම කැමැතියි. ඔහුගේ ලියවිල්ල තුළට සමස්තය අහුවෙනවා. ඔහු ලියන දේ නිර්මාණාත්මකයි. ඔහුගේ ලියවිල්ලේ ඔහේ අතපත ගෑමක් නෑ. ඒකයි ඔහු සමඟ වැඩ කරන්න මම යොමු වුණේ. ඔහු ලියන දේ මට දරුණු විදියට ඇඟට දැනෙනවා. ඒ දැනෙන දේ නිර්මාණයක් බවට පත් කරන්න පහසුයි.

දැන් ඔබේ නිර්මාණය ප්‍රේක්‍ෂකයන්ටත් හොඳට දැනිලා ඇතිද?

ලැබෙන ප්‍රතිචාර අනුව නම් නාට්‍යයට වැඩි කැමැත්තක් තියෙනවා කියලා හිතෙනවා. අපි මේ වගේ දේවල් රසවිඳින්න දරුවන්ව පෙලඹවිය යුතුයි. ළමයි කැමැති සරල දේවල්වලටනේ. ඒ සරල දේ තුළ වටිනාකමකුත් තියෙනවා නම් තමයි වැදගත්.

ළමා නාට්‍යක් කරන එකත් ලේසි පහසු නැහැනේ?

ඇත්තටම මේක පහසු වැඩක් නෙවෙයි. සුරංගනා කතා, ජනප්‍රවාද, ඉතිහාස කතා අරගෙන කතා ප්‍රතිනිර්මාණය කරලා තමයි මේ නාට්‍යයේ ඉදිරිපත් කරන්නේ. ලොකු රිසර්ච් එකක් කරලා තමයි එය නිර්මාණය කරන්නෙත්. මේ නාට්‍යයට ගත්ත දරුවෝ පස්දෙනත් මීට කලින් රඟපාලා තිබ්බෙ නැහැ. නමුත් ඔවුන්ව දැන් රංගනයේ ඉතාම හොඳ මට්ටමකට ගෙනත් තියෙනවා.

ඔබත්, ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියනුත් මෙයට දායක වෙනවනේ?

ඔව්. ළමයි වගේම රොඩ්නි වර්ණකුල, හයිසින්ත් විජේරත්න, කුමාරි මුණසිංහ, නිරෝෂා තලගල මම ඇතුළු ශිල්පීන් මේ නාට්‍යයට සම්බන්ධ වෙනවා. මේ හැමෝගෙන්ම නාට්‍යයට ලොකු සහායක් ලැබෙන්නේ.

රංගනයයි අධ්‍යක්‍ෂණයයි දෙකම එකට කරන්න අපහසුවක් නැද්ද?

ලොකු අපහසුවක් තියෙනවා. මම හිතාගෙන හිටියේ මම අධ්‍යක්‍ෂණය කරන නාට්‍යවල රඟපාන්නේ නෑ කියලා. නමුත් වෙඩිවර්ධනගේ දැඩි ඉල්ලීමක් තිබුණා මට ඒකට සම්බන්ධ වෙන්න කියලා. ඒ වගේම සති අන්තයේ නාට්‍ය රූගත කරන නිසා ඒ වෙනුවෙන්ම නළුවෙක්ව තියාගන්නත් අපහසුකම් තිබ්බා. කොහොම වුණත් අවංකව ළමයි වෙනුවෙන් කරපු වැඩේට මමත් ආසාවෙන් සම්බන්ධ වුණා.

ළමයි වෙනුවෙන් කරපු වැඩේ දැන් තියෙන ළමා නාට්‍ය රැල්ලට තරගයක් දෙන්න කළා නෙවෙයිද?

දැන් තියෙන ළමා නාට්‍ය රැල්ල නිසාම තමයි ළමා නාට්‍යයක් කරන්න හිතුවේ. හැබැයි එකක් පරයා තවත් එකක් කරන්න නෙවෙයි හිතුවේ. අපිට ඕන වුණේ ළමා නාට්‍ය රැල්ල තුළ හරවත් නිර්මාණයක් කිරීමේ අරමුණක්.

දැන් වෙනත් නිර්මාණවල රඟපාන්නෙම නැද්ද?

මටත් මිනිස්සු බනිනවා, ඇයි රඟපාන්නෙ නැත්තේ කියලා. අධ්‍යක්‍ෂණයට ආවට පස්සේ රංගනයට වඩා අධ්‍යක්‍ෂණයට කැමැත්තක් ඇතිවෙලා. වැඩ කටයුතුත් එක්ක රඟපෑම්වලට මම ටිකක් කම්මැළි වෙලා ඉන්නේ.

අලුත් නිර්මාණ කටයුතු ගැනත් හිතලා ඇති?

මම Ice Cream කියලා චිත්‍රපටයක් කළා. ඒකේ පසු නිෂ්පාදන කටයුතු කරන්න තියෙනවා. මේක ෆිල්ම් ෆැන්ටසියක් එක්ක යන වෙනස් වැඩක්. මේකේ ප්‍රධාන චරිතය කරන්නේ හේමාල්. චිත්‍රපටය මේ අවුරුද්දේ විතර තිරගත කරන්න බලාපොරොත්තු වෙනවා. තව චිත්‍රපට දෙකක් විතර ළඟදී කරන්න හිතාගෙන ඉන්නේ.
ඊට අමතරව දෙයියන්ගේ රටේ කියලා නාට්‍යයක් කළා. ඒකත් වෙනස් වැඩක්. දැනට ඒ නාට්‍යයේ කොටස් කිහිපයයි ඉවර කරලා තියෙන්නේ. ඉදිරි කාලයේදී ඒකත් විකාශයට ගේන්න බලාපොරොත්තු වෙනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon