පෞද්ගලික මන්ත්‍රි පනත් සම්මත කරගැනීමට නොහැකවන තත්ත්වයක්

  👤  1940 readers have read this article !
Published by : MB WEB 2017-01-10 10:30:21

දයා පෙරේරා

මන්ත්‍රිවරුන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන සංස්ථාගත කිරීමේ පෞද්ගලික මන්ත්‍රි පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි.

පුණ්‍යායතන, විවිධ සමාජ සේවා සංවිධාන, ස්වේච්ඡා සමිති, පදනම් ආදිය සංස්ථාගත කිරීමේ පනත් වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මෙතෙක් කල් සාම්ප්‍රදායිකව සිදුකෙරුණද මෑතක පටන් මන්ත්‍රිවරුන්ට හිමිව තිබූ එම වරප්‍රසාදය අහිමිවන තත්ත්වයට පත්ව ඇත.

මන්ත්‍රිවරයකු ඉදිරිපත් කරන සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පතක් අදාළ අමාත්‍යාංශය වෙත යැවීමෙන් පසු එම අමාත්‍යාංශය මඟින් කෙටුම්පත නීතිපතිවරයා වෙත යොමු කෙරෙන අතර නීති කෙටුම්පත් අංශයේ නිර්දේශ ලැබීමෙන් අනතුරුව අමාත්‍යාංශය භාර ඇමැතිවරයා විසින් නිර්දේශ පාර්ලිමේන්තුව වෙත යොමුකිරීම සිදුවිය.

මේ වනවිට එවැනි පනත් කෙටුම්පත් සියයකට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් අදාළ අමාත්‍යාංශ වෙතින් ලිඛිත දැනුම්දීම් නොකිරීම නිසා එම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නොහැකිවන තත්ත්වයක් උද්ගතවී ඇත.

මෙය මන්ත්‍රිවරුන් සතුව මෙතෙක් පැවැති වරප්‍රසාදයක් උල්ලංඝනය වීමක් බව මන්ත්‍රිවරු පෙන්වා දෙති.

පාර්ලිමේන්තුව මඟින් ඒ ඒ අමාත්‍යාංශ වෙත යොමුකර ඇති එම පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් මෙතෙක් පිළිතුරු නොලැබීම පිළිබඳව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා අදාළ අමාත්‍යාංශ දැනුවත් කර ඇතත් ඒ පිළිබඳව සතුටුදායක පිළිතුරු ලැබී නොමැති බව පාර්ලිමේන්තුවට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon