ඡන්ද හිමි ලියාපදිංචි පනත කඩිනමින් සංශෝධනය කරනවා

  👤  1824 readers have read this article !
Published by : MB WEB 2017-01-10 10:00:33

පහන් විජේසේකර , උදයන්ති මුණසිංහ

මැතිවරණයක් ප්‍රසිද්ධ කරන අවස්ථාවකදී වයස අවුරුදු 18 සම්පූර්ණ වන සියලුම දෙනා ඡන්ද ලැයිස්තුවට ඇතුළත් කරගත හැකි වන පරිදි ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කරන්නැයි ඉල්ලමින් තරුණයන් දෙලක්ෂ හැත්තෑ පන්දහසක් අස්සන් කෙරූ පෙත්සමක් අනුව පනත සංශෝධනය කරමින් සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනතේ සංශෝධිත කෙටුම්පතක් සකස් කර සියලුම දේශපාලන පක්ෂවලට යොමු කර තිබෙන බවත් දේශපාලන පක්ෂ බහුතරයක් ඊට එකඟතාව පළකර තිබෙන බවත් මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දෙයි.

වත්මන් පාර්ලිමේන්තුවේ තරුණ නියෝජනය ශීඝ්‍ර ලෙස පහත වැටී ඇතැයි කී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පාර්ලිමේන්තුවේ සිටින 225න් වයස අවුරුදු 35ට අඩු නියෝජනයක් ඇත්තේ 14 දෙනකු බවත් ඉන් දේශපාලන පවුල්වලට සම්බන්ධ නොවන අය සිටින්නේ තිදෙනෙක් බවත් සඳහන් කළේය.

මැතිවරණ කොමිෂන් සභාවේ සිවු අවුරුදු උපාය මාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍යවල සහාය ලබා ගැනීමේ සාකච්ඡාවට සහභාගි වෙමින් හෙතෙම මේ අදහස් පළ කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති වයස අවුරුදු 18ට වැඩි පුරවැසියන්ට හිමිවිය යුතු සර්වජන ඡන්දබලය ක්‍රියාත්මක කළ හැකි වන්නේ වයස අවුරුදු 18 මාස 06ක්වත් ඉක්ම වූ හෝ බොහෝ විට වයස අවුරුදු 19 ඉක්ම වූ තරුණයන්ට පමණක් වීමේ ගැටලුව විසඳීමේ අරමුණින් යුතුව මැතිවරණ
කොමිෂන් සභාව මෙම පියවර ගෙන තිබේ.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මැතිවරණ කොමසාරිස්වරයා මෙසේද කීය.

දේශපාලන පක්ෂ සියල්ලම කියන්නේ ඉක්මනට පළාත් පාලන ඡන්දය තියන්න කියලා. ඡන්දය පැවැත්වීමේ කටයුතු තියෙන්නේ මැතිවරණ කොමිෂන් සභාව අතේ නෙවෙයි ජනතාවගේ පරමාධිපත්‍යය, ඡන්දය පැවැත්වීමේ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවෙන් එම බලය පවරල තියෙනවා පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයාට. මැතිවරණ කොමිෂන් සභාව පිහිටෙව්වා කියලා ඇමැතිවරයා සතු බලතල අපිට ලැබෙන්නේ නෑ. ලෝකයේ මොන රටකවත් ඒ බලය දීලා නෑ. මැතිවරණ දෙපාර්තමේන්තුවක් ස්වාධීන කොමිෂන් සභාවකට සමානයි. හැබැයි ඡන්ද ප්‍රමාදවීම ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් කියලා අපි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරල තියෙනවා. ඒ නිසා මැතිවරණ කොමිසම බලාපොරොත්තු වෙන්නේ හැකි ඉක්මනින් ඡන්දය කියලා ජනතාවගේ සර්වජන ඡන්ද බල අයිතිය සුරක්ෂිත කර දීමටයි. රජය මේකට සහයෝගය නොදෙන්නේ ඇයි කියලා කියන්න තිබුණා. ඕවා ඕෆ් කරන් හිටියා නම්.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්