ශ්‍රී ලංකා පිලේ දකුණු අප්‍රිකා සංචාරය

  👤  2133 readers have read this article !
Published by : MB WEB 2016-12-27 08:24:52

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමු ඉනිම වෙනුවෙන් ලකුණු රැස්කරන අප්‍රිකානුවන් පළමු දිනයේ තරගය නතර කරන විට කඩුලු 06කට ලකුණු 267ක් ලබා සිටියේය.

තරගයේ දිවා භෝජනයට පෙර භාගය දකුණු අප්‍රිකානුවන් යටතට පත්ව තිබුණද ඉන් අනතුරුව දිවා භෝජනයෙන් පසු තරගයේ පාලනය ශ්‍රී ලංකාවට දෙසට පත්වීමද විශේෂත්වයකි.

එහිදී අප්‍රිකානුවන් වෙනුවෙන් ජේ.පී. ඩුමිනි (63) හා ස්ටෙෆන් කුක් (59) අර්ධ ශතක ලබාගැනීම කැපී පෙනුණි.

දකුණු අප්‍රිකාවේ ශා.ජෝර්ජ් පිටියේදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව ලකුණු රැස්කිරීමට පිටියට පැමිණි අප්‍රිකානු ආරම්භක පිතිකරුවන් දෙපොළ වූ ස්ටෙෆන් කුක් හා ඩීන් එල්ගා සෙමින් සෙමින් ලකුණු රැස්කරමින් දිවා භෝජනය තෙක් කඩුලු ආරක්‍ෂා කරගැනීමට සමත්වීම කැපී පෙනුණි. ඒ අනුව දිවා භෝජනය සඳහා තරගය නතර කරන විට අප්‍රිකානුවන් කිසිවකු නොදැවී ලකුණු 92ක් ලබා තිබූ අතර, කුක් නොදැවී ලකුණු 52ක් හා එල්ගා නොදැවී ලකුණු 39ක් ලබා සිටියේය.

දිවා භෝජනයෙන් පසු කුක් ලකුණු 59කට සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින චන්දිමාල්ට උඩපන්දුවක් ලබා දී දැවී යන විට අප්‍රිකානු ලකුණු පුවරුව ලකුණු 104ක් විය. විනාඩි 147ක් පුරා කඩුල්ලේ රැඳී සිටි කුක් ඒ සඳහා හතරේ පහර 7ක්ද එල්ල කළ අතර, එය ඔහුගේ ටෙස්ට් දිවියේ දෙවැනි අර්ධ ශතකයද විය.

කුක්ගේ දැවී යාමෙන් අනතුරුව එල්ගාට එකතු වූ හෂීම් අම්ලා අප්‍රිකානු ලකුණු පුවරුව ඉදිරියට තල්ලු කරගෙන යාමට සැරසුණද දෙවැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 1ක් ලෙස පත්වෙද්දී එතෙක් හොඳින් පන්දුවට පහර දෙමින් සිටි එල්ගාද චන්දිමාල්ට උඩපන්දුවක් ලබා දී ලක්මාල්ගේ පන්දුවට ක්‍රීඩාගාරයට පියනගන විට ලකුණු 45ක් ලබා සිටියේය.

ඉන් අනතුරුව අම්ලා හා ඩුමිනි එකතුව කඩා වැටුණු දකුණු අප්‍රිකානු ඉනිම ඔසවාගෙන යද්දී අම්ලාද පෙර බිඳ වැටුණු කඩුලු දෙක පරිද්දෙන්ම චන්දිමාල්ට උඩපන්දුවක් ලබා දී ලක්මාල්ගේ පන්දුවකට දැවී යන විට තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 73ක සබඳතාවක් එක්කර තිබිණි.

කඩුලු 3ක් ලකුණු 178කට බිඳ වැටී තිබියදී පිටියට පිවිසි දකුණු අප්‍රිකානු නායකයා ඩුමිනි සමග සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 35ක සබඳතාවක් එක්කළද ඩුමිනි හේරත්ගේ ගොදුරක් බවට පත්වන විට කඩුලු 4කට ලකුණු 213ක් විය.

පිටියට පැමිණි මොහොතේ සිටම ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කළ ඩුමිනි පන්දු 73කදී අර්ධ ශතකය සම්පූර්ණ කරන විට හතරේ පහර 9ක්ම එල්ල කර තිබූ අතර, ඔහු ලකුණු 63කට දැවී යන විට හතරේ පහර 10ක් එල්ල කර තිබිණි.

දිනය නිමා වන විට කුවින්ටන් ඩි කොක් ලකුණු 25ක් හා පිලැන්ඩර් 06ක් ලබා කඩුල්ලේ රැඳී සිටී.

සුරංග ලක්මාල් හා රංගන හේරත් ශ්‍රී ලංකාවේ සාර්ථකම පන්දු යවන්නන් දෙපොළ බවට පත්වූයේ පිළිවෙළින් කඩුලු 4ක් හා කඩුලු 2ක් ලබා ගත් බැවිනි.

ලකුණු සාරාංශය
දකුණු අප්‍රිකාව පළමු ඉනිම _ 267/6
(ජේ.පී. ඩුමිනි 63, කුක් 59, එල්ගා 45, ෆෆ් ඩු ප්ලෙසිස් 37, හෂීම් අම්ලා 20, කුවින්ටන් ඩි කොක් නොදැවී 25, සුරංග ලක්මාල් 4/62, රංගන හේරත් 2/48)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon