ආසියාවේ හොඳම ක්‍රිකට් යෞවනයෝ කවුද? තීරණය අද ප්‍රේමදාස පිටියේදී

  👤  1822 readers have read this article !
Published by : MB WEB 2016-12-23 12:01:40

ඡායාරූපය _
නුවන් අමරවංශ

විචිත්‍ර වීරසිංහ

ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් තරගය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී දිවා-රාත්‍රි තරගයක් ලෙසින් අද (23දා) පැවැත්වීමට නියමිතව ඇත.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 77කින් පරාජය කරමින් ඉන්දියාව අවසන් තරගයට පිවිසෙද්දී බංග්ලාදේශ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 26කින් පරාජය කළ ශ්‍රී ලංකාව අවසන් තරගයට පිවිසියේය.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 48.3කදී සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 194ට පිළිතුරු සැපයූ ශ්‍රී ලංකා යෞවනයන් වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පන්දුවාර 27.1කදී කඩුලු 2ක් දැවී ලකුණු 106ක් ලබා සිටියේය. ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව එම ලකුණු ප්‍රමාණය අනුව ශ්‍රී ලංකාවට අවසන් තරගයට පිවිසීමට මාර්ගය උදාවී තිබිණි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින වමතින් පන්දුවට පහර දෙන විශ්ව චතුරංග පන්දු 77කදී හතරේ පහර 7ක් හා එක් හයේ පහරක් සහිතව ලකුණු 68ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය ඉක්මන් කිරීමට ප්‍රධාන දායකත්වය සැපයීය.

අවසන් සටන දක්වා පැමිණි ශ්‍රී ලංකා ගමනේදී ශ්‍රී ලංකා පිතිකරුවන් අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ විශ්ව චතුරංගයි. ඔහු මේ වනවිට තරග 4කට සහභාගි වී අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 180ක්ද, හසිත බෝයගොඩ ඉනිම තුනකදී එක් අර්ධ ශතකයක් සමගින් ලකුණු 95ක් ලබා සිටින අතර, ජෙහාන් ඩැනියෙල් ඉනිම දෙකකදී එක් අර්ධ ශතකයක් සමගින් ලකුණු 78ක් ලබා සිටී.

එම පිතිකරුවන් තිදෙනා එසේ දක්‍ෂතා අතර සිටියද මෙම තරගාවලියේදී කුමන හෝ පෙරළියක් කරනු ඇතැයි විශ්වාස තැබූ ශ්‍රී ලංකා නායක කවිඳු මෙන්ඩිස් තවමත් ලකුණු අතරට පිවිස නොතිබීම ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් කනගාටුදායක තත්ත්වයකි. එහිදී එය වඩාත් බරපතළ වන්නේ ඉන්දියාව වැනි කණ්ඩායමක් සමග අවසන් මහා තරගයට පිවිස තිබීම හේතුවෙනි. අංක 9වන තෙක් පිතිකරුවන් සපිරි හා තරගාවලියේදී මෙතෙක් ලබාගත් එකම ශතකයේ හිමිකරුවාද සිටින ඉන්දියානුවන් පරාජයට පත්කිරීමට නම් ශ්‍රී ලංකා නායකයා අවසන් තරගයේදී පිත්තෙන් හෝ පන්දුවෙන් යමක් කළ යුතුව ඇත.

ප්‍රවීන් ජයවික්‍රම ඉනිම 3කදී කඩුලු 7ක්ද, නායක කවිඳු මෙන්ඩිස් කඩුලු 6ක්ද ලබා ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතුරින් ඉදිරියෙන් සිටින පන්දු යවන්නන් බවට පත්ව තිබෙන අතර, අනෙක් පන්දු යවන්නන්ගෙන්ද සැලකිය යුතු යමක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබී තිබිණි.

කෙසේ වෙතත් පෙර කී දුර්වලතා නිවැරදි කරගතහොත් තරගාවලියේදී මෙතෙක් අපරාජිතව සිටින ඉන්දියානුවන් පරාජය කරමින් ශූරතාව දිනාගැනීමට හැකි පිතිකරුවන් හා පන්දු යවන්නන් පිරිසක් ශ්‍රී ලංකාව සතුව පවතී.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon