පාර්ලිමේන්තු පසුපෙළ මන්ත්‍රිවරුන්ගේ කටයුතුවලට වෙනම කාරක සභාවක් පත් කරන්න යයි

  👤  2225 readers have read this article !
Published by : MB WEB 2016-12-20 11:16:57

දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා

පාර්ලිමේන්තුවේ පසු පෙළ මන්ත්‍රිවරුන්ගේ කටයුතු සඳහා වෙන් වූ කාරක සභාවක් පත්කිරීමට යයි.

එවැනි කාරක සභාවක් පත්කිරීමට පාර්ලිමේන්තුවේ නව ස්ථාවර නියෝගවල අවසන් කෙටුම්පතෙන් යෝජනා කර ඇත.

නව ස්ථාවර නියෝග කෙටුම්පත් කර ඇත්තේ පාර්ලිමේන්තුවේ දශක දෙකක පමණ කාලයක් පුරා ක්‍රියාත්මක වන ස්ථාවර නියෝග කාරක සභාව විසින් දීර්ඝ වශයෙන් අධ්‍යයනය කිරීමෙන් අනතුරුවය.

1979 සිට ක්‍රියාත්මක වන ස්ථාවර නියෝග ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු සිදු කෙරේ. එම නියෝගවල දැක්වෙන කාරක සභාවලට අමතරව ඉහත කාරක සභාව සහ තවත් කාරක සභා පහක් ස්ථාපිත කෙරෙනු ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු කාරක සභාව, සම්බන්ධීකරණ කාරක සභාව, ආංශික අධීක්ෂණ කාරක සභාව, ආචාරධර්ම සහ වරප්‍රසාද කාරක සභාව සහ අමාත්‍යාංශික කාරක සභා ඒ අනුව පත් කිරීමට නියමිතය.

මහජන පෙත්සම් කාරක සභාව දැනට වඩා බලගැන්වෙන යෝජනා කිහිපයක්ද යෝජිත නව ස්ථාවර නියෝගවලට ඇතුළත්ය.

කතානායක කරු ජයසූරිය ඉකුත්දා පාර්ලිමේන්තුවේදී නව ස්ථාවර නියෝග අවසන් කෙටුම්පත පාර්ලිමේන්තුවට පිළිගැන්වීය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසු පාර්ලිමේන්තුවේ සෑම මාසයකම පළමුවැනි රැස්වීම් සතියේ බදාදාට මන්ත්‍රිවරුන්ට අගමැතිවරයාගෙන් ප්‍රශ්න හතරකට නොවැඩි සංඛ්‍යාවක් ඇසීමේ අවස්ථාව හිමි විය. මේ නව ස්ථාවර නියෝග යෝජනාව මඟින් අගමැතිවරයාගෙන් ප්‍රශ්න ඇසීම ස්ථාවර ක්‍රියාවලියක් බවට පත්කර ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්