"සිහිනයකි රෑ" ලන්ඩනයට

  👤  1842 readers have read this article !
Published by : MB WEB 2016-12-18 19:17:46

'සිහිනයකි රෑ' සංකල්පය ඉපදුණේ ඔබේ හිතේ.ඒ ගැන මුලින්ම කියමු?

මේ සංකල්පය අවුරුද්දක් එකහමාරක් විතර මගේ හිතේ තිබුණා. ඒත් මට ඒක කරන්න පසුබිම ඒ වෙනකොට හැදිලා තිබුණේ නෑ. දේශපාලන පෙරළියත් එක්ක සිදුවන පරිපාලන වෙනසත් එක්ක අලුත් වැඩසටහනක් කරන්න අවකාශය ලැබුණා. ඒ වැඩසටහන තමයි "සිහිනයකි රෑ" විදියට එළියට එන්නේ.

ඔබ කරපු වැඩසටහන් වගේම 'සිහිනයකි රෑ' කියන්නෙත් වෙනස් වැඩක්?

ඔව්. මිනිස්සු හරි කැමැතියිනේ විවිධත්වයකින් දේවල් විඳින්න. ඉන්න තැන වෙනස් කරන්න කැමැතියි. ආශ්‍රය කරන අය වෙනස් කරන්න කැමැතියි. සුන්දර අසුන්දර දෙවිදියෙම දේවල්වලට මිනිසුන්ට මුහුණදෙන්න වෙලා තියෙන්නේ මේ වෙනස හොයාගෙන යන නිසා. ඉතින් මම කල්පනා කළා මිනිස්සු ගීතයක් වෙනස් විදියට විඳින්නේ කොහොමද කියලා. උදාහරණයක් විදියට නන්දා මාලනිය ගයන ගීතයක් වික්ටර් රත්නායකයන්ගේ හ¾ඩින් අහලා විඳින්න බැරි ඇයි? මේ සංකල්පය තමයි මම වෙනසක් විදියට ගේන්නේ.

ඒ වැඩසටහන් ආකෘතිය ප්‍රේක්ෂකයෝ ආදරයෙන් වැලඳගත්තා නේද?

මේ වැඩසටහනෙදි විද්වතෙක් තෝරන ගීත දහයක් එකම ශිල්පියෙක් හෝ ශිල්පිනියකගේ හඩින් අහන්න ලැබුණා. ඒ වගේම ඒ විද්වතා තමන් තෝරන ගීත දහයට කැමැති වුණ හේතුවත් ප්‍රේක්ෂකයෝ වැලඳ ගත්තා. අනපේක්ෂිත විදියට වැඩසටහන ගොඩක් ජනප්‍රිය වුණා. මම මේ වැඩසටහන පටන් ගත්තේ වැඩසටහන් විසිපහකින් නතර කරන්න. නමුත් ලැබෙන ප්‍රතිචාරත් එක්ක මේ වෙනකොට අසූවැනි වැඩසටහනත් පහුකරල තියෙනවා.

වැඩසටහනට ප්‍රතිචාර ලැබෙන්නේ දේශීය ප්‍රේක්ෂකයන්ගෙන් විතරක්ම නෙමෙයිනේ?

නැහැ. මේ වැඩසටහන් ආකෘතියට දේශීය වගේම විදේශීය රටවල ඉන්න ලාංකේය ජනතාවගෙනුත් ප්‍රතිචාර ලැබුණා. විදේශ රටවල ඉන්න ආචාර්ය, මහාචාර්යවරු පවා කැමැත්තෙන්ම මේ වැඩසටහනට ඇවිත් ගීත තෝරන්න එකතුවෙලා තියෙනවා.

'සිහිනයකි රෑ' විදේශ රටකටත් ගෙනිච්චානේ?

අපි පළමුවැනි වතාවට 'සිහිනයකි රෑ' වැඩසටහන අරගෙන විදේශ රටකට ගියා. පහුගිය දවස්වල ලන්ඩන්වලදි 'සිහිනයකි රෑ' වැඩසටහන රෙකෝඩින් කළා. 18 වැනිදා ලන්ඩන් නුවරදී ප්‍රේක්ෂකයන් ඉදිරියේ 'සිහිනයකි රෑ' වැඩසටහනක් කරනවා. එයට එරට ඉන්න ලංකාවේ නළු නිළියෝ ගායක ගායිකාවෝ පවා සම්බන්ධ වෙනවා.

එහෙනම් ලංකාවට සීමා නොවී 'සිහිනයකි රෑ' ලෝකය පුරා යයිද?

ලබන වසරේ පෙබරවාරියේදී අපි 'සිහිනයකි රෑ' අරගෙන ඇමෙරිකාවටත් අගෝස්තු මාසේ ඕස්ට්‍රේලියාවටත් යනවා. ඒ රටවල ඉන්න ලාංකේය ජනතාව ඉදිරිපිට අපි මේ වැඩසටහන කරනවා. ඊට අමතරව මේ වෙනකොට අපට කැනඩාවෙනුත් ආරාධනාවක් ලැබිලා තියෙනවා.

'සිහිනයකි රෑ' මේ වෙනකොට සාර්ථක ගමනක් ඇවිත් තියෙනවා වගේම වෙනත් නාළිකාවල සිහිනයකි රෑ වැඩසටහනේ කොපි දකින්නත් ලැබෙනවා නේද?

විවිධ පෞද්ගලික නාළිකා මේ ආකෘතියේ වැඩසටහන් කරන්න පටන් අරගෙන තියෙනවා. රූපවාහිනි, ගුවන්විදුලි මාධ්‍ය පිපාසයකින් හිටපු ආකෘතියක් මං වගේ පොඩි මිනිහෙක්ට සපයන්න පුළුවන් වීම ගැන මට ඇත්තටම සතුටුයි.

වැඩසටහන සාර්ථකත්වයට ගමන් කරද්දි බාධක මුණගැහුණෙම නැද්ද?

බාධක මුණගැහුණා. අපි 'සිහිනයකි රෑ' පළමුවැනි වැඩසටහන කරද්දි නීලා වික්‍රමසිංහ අපිට පොඩි පහරක් එල්ල කළා. ඒත් අපි සැලුණේ නෑ. අපේ පාඩුවේ වැඩ කරගෙන ගියා. හැබැයි මම ඇයගේ ගීත, වැඩසටහන්වලට එක්කර ගත්තෙ නෑ. මේ රටේ මුදුන්මල්කඩ වගේ හිටපු සහ ඉන්න නන්දා මාලනිය, ඩබ්ලිව.ඩී. අමරදේවයන්, වික්ටර් රත්නායක වගේ දැවැන්ත මිනිස්සු අපේ වැඩසටහනට පහර එල්ල කළේ නැහැ.

නීලා වික්‍රමසිංහ එක්ක තිබුණු මත ගැටුම තාමත් තියෙනවද?

පසු කාලෙක මට නීලා වික්‍රමසිංහව මුණගැහුණා. එතැනදි අපේ මත ගැටුම සමථයකට පත්වුණා. මම වැඩසටහනට කතා කළාම ඇය ආරාධනාව කැමැත්තෙන් භාරගත්තා.

ඔබ වගේම වැඩසටහනේ සාර්ථකත්වයට උරදෙන පිරිසක් ඇති?

ජාතික රූපවාහිනියේ වත්මන් සභාපතිතුමා කලින් ඉඳන් මේ වැඩසටහනේ රසිකයෙක්. එතුමා ලොකු සහයෝගයක් අපිට දෙනවා. ඒ වගේම වැඩසටහනේ අධ්‍යක්ෂණ කටයුතු කරන්නේ ජයමිණි ඉලේපෙරුම. නිෂ්පාදන කටයුතු කරන්නේ මොහාන් විජේසිංහ. ඔවුන් දෙන සහයෝගයත් මතක් කරන්න ඕන.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්