සේමිණි අවුරුදු පහකට පස්සේ පුංචි තිරයට

  👤  2260 readers have read this article !
Published by : MB WEB 2016-12-16 11:27:08

කාලෙකට පස්සෙ ආයෙත් පුංචි තිරයේ වැඩ පටන්ගෙන නේද?

ඔව්. මෙගා ස්ටාර් තමයි මේ දවස්වල පුංචි තිරයේ ප්‍රධානම වැඩේ. ඊට අමතරව අවුරුදු පහකට පස්සෙ ටෙලි නාට්‍යවලටත් සම්බන්ධ වෙන්න ගත්තා. මුලින්ම මම කළේ ගිහාන් රෝහණගේ ටෙලි නාට්‍යයක්. දෙවැනියට සිතැත්ති කියන ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා.

අවුරුදු පහක් ටෙලි නාට්‍යවලට සම්බන්ධ නොවී හිටියේ?

මට හොඳ පිටපතක් ලැබුණේ නැහැ. පසුගිය කාලේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය බාල්දු වීමකටත් ලක්වුණා. ඒකත් එක්ක මම ටෙලි නාට්‍යවලට සම්බන්ධ නොවී හිටියා. ඒ වගේම මේ කාලය මගේ දුවගෙ හොඳම කාලය. ඒ නිසා අම්මා කෙනෙක් විදියට එයාගෙ ළඟම ඉන්න ඕන කියල හිතුණා. ඒ ගෙවුණ අවුරුදු පහ මම එයත් එක්කම හිටියා. දැන් ආයෙත් මම වැඩ කරන්න තීරණය කළා. හොඳ වැඩ දෙකකුත් ලැබුණ නිසා මම ඒ නිර්මාණවලට සම්බන්ධ වුණා.

ඒත් තාම අම්මා කෙනෙක් විදියට ඉටු කරන්න ඕන වගකීම්වලින් මිදිලා නෑනේ?

නෑ නෑ... තාම වගකීම් ඉවර නැහැ. දැන් දුවට අවුරුදු පහළොවයි. එයාට දැන් දේවල් තේරෙනවා. ඒ නිසා මට මගේ දේවල් වලටත් යොමුවෙන්න පුළුවන්. මගේ දක්ෂතාව යට යනවනේ මම වැඩ නොකර හිටියොත්. ඒ නිසා වැඩ කරන්න කියලා හස්බන්ඩ් වුණත් මට කිව්වා.

සමහර සැමියන් විවාහ වුණාම බිරියව ගෙදරට සීමා කරනවා. ඒත් සේමිණීගෙ සැමියා එවැනි සීමා කිරීම් කරලා නෑ නේද?

එයා මගේ නිදහසට හරස් කපන්නේ නැහැ. එයාගෙ සහයෝගය නිසා තමයි මට මානසික නිදහසකින් වැඩ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. එහෙම සැමියෙක් ලබන්නත් පින් කරලා තියෙන්න ඕන.

නිහඬ වෙලා හිටපු කාලෙත් රංගනයට ආරාධනා ලැබෙන්න ඇතිනේ?

ආරාධනා නම් ලැබුණා. ඒත් ඒ ආරාධනාවල මට කැමැත්තක් හිතෙන තරමේ පිටපත් තිබුණේ නැහැ. කැමැති පිටපත්වලට මම ඉල්ලන මුදල දෙන්න එයාලට පුළුවන් වුණේ නැහැ. ඒ නිසා මම ඒ වැඩ භාරගත්තේ නැහැ. හැබැයි මම සිනමා නිර්මාණවලට නම් සම්බන්ධ වුණා.

ඒ කියන්නේ මුදල නිසා වැඩ අතහරිනවද?

යම් නිර්මාණයක් කරලා මට ඒකෙන් අනාගතයට ප්‍රයෝජනයක් තියෙනවා නම් මම මුදල ගැන හිතන්නේ නැහැ. හැබැයි මගේ අනාගතයට ප්‍රයෝජනයක් නැති නිර්මාණයක් නම් මම මුදල ගැන හිතනවා.

එහෙම බය නැතුව වැඩ අතහරින්නේ ස්ථාවරයක් හදාගෙන ඉන්න නිසාද?

මට ශක්තිමත් සහකරුවෙක් ඉන්නවා. ඒ වගේම මම පෞද්ගලික ව්‍යාපාරයකුත් කරනවා. අපේ ආර්ථිකය ශක්තිමත් නිසා කැමැති නැත්නම් ඒ වැඩේ භාර ගන්නේ නැතිව ඉන්න මට පුළුවන්.

ඔය විදියට වැඩ අතහරිද්දි අධ්‍යක්ෂවරු අමනාප වෙලා නැද්ද?

නැහැ. මම සුහදව තමයි දෙයක් ප්‍රතික්ෂේප කරන්නේ. මගේ ජීවිතයට හරි මගේ ආර්ථිකයට හරි දෙයක් ලැබෙන්නේ නැත්නම් මම මගේ ප්‍රතිපත්තිය කඩන්නේ නැහැ. ඉතිං ඒ දේ තේරුම් කළාම කවුරුවත් මාත් එක්ක අමනාප වෙන්නෙත් නැහැ.

දැන් දිගටම ක්ෂේත්‍රයේ වැඩවලට සම්බන්ධ වෙයිද?

මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු විස්සක් වෙනවා. මේ කාලය ඇතුළත මම කරලා තියෙන නිර්මාණ ප්‍රමාණය හරි අඩුයි. මට ගොඩ වැඩි කර ගැනීමේ ප්‍රතිපත්තියක් නැහැ. හොඳ වැඩක් කරන්න තමයි මට ඕන. ඒ විදියට හොඳ වැඩ ලැබුණොත් සම්බන්ධ වෙනවා.

ළඟදි විවාහ ජීවිතේ සංවත්සරයක් සමරනවා කියලත් ආරංචියි?

ඔව්. මේ පහළොස්වැනිදාට අපි විවාහ වෙලා අවුරුදු විසි තුනක් වෙනවා.

එහෙනම් පාටියකුත් ලෑස්ති කරලා ඇතිනේ?

අපි විශේෂ අවස්ථාවල පන්සලට දානයක් දීලා පුණ්‍ය කටයුතු සිද්ධ කරනවා. මේ පාරත් ඒ දේවල් ඒ විදිහටම සිද්ධ වෙනවා. ඔය අතරේ ආරාධනා කළත් නොකළත් අපි ළඟින්ම ඇසුරු කරපු අය එදාට අපේ ගෙදරට එනවා.

ඔබ නිළියක්. දුව නිළියක් වෙනවට සේමිණී කැමැතිද?

මටයි, ධම්මිකටයි අවශ්‍ය වෙන්නේ දුවව බුද්ධිමත් මනුස්සකම් තියෙන සුහදශීලී කාන්තාවක් කරන්න. ඉස්සර නම් මම හිතුවා එයා කැමැති දෙයක් කළාට කමක් නැහැ කියලා. ඒත් දැන්නම් එයා ලංකාවේ නිළියක් තියා ජනප්‍රිය දොස්තර කෙනෙක් වෙනවටවත් මම කැමැති නැහැ.

ඇයි ඒ?

ලංකාවේ ජනප්‍රිය චරිතයක් වුණාම අනෙක් අයගේ ඊර්ෂ්‍යාවට ලක්වෙනවා. මගේ දුව කාගෙවත් වැරැදි ඇහැකට ලක්වෙනවට මම කැමැති නැහැ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්