වහාම ඡන්දය පවත්වන්න ජාතික ඔලිම්පික් කමිටුවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් නියෝගයක්

  👤  1482 readers have read this article !
Published by : MB WEB 2016-12-16 10:45:01

සිරිනාම රාජපක්‍ෂ

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු (එන්.ඕ.සී.) නිලවරණය පවත්වන්නැයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු (අයි.ඕ.සී.) නියෝජිතයකු විසින් එන්.ඕ.සී. ලේකම්වරයාට නියෝග කර ඇතැයි 'මව්බිම'ට වාර්තා වේ.

ආසියානු ඔලිම්පික් කමිටුවේ (ඕ.සී.ඒ.) අධ්‍යක්‍ෂවරයකු මෙන්ම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නියෝජිතයකු වන හයිඩර් ෆාමන් මහතා සහ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතර ඊයේ (15දා) ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැති විශේෂ සාකච්ඡාවකින් පසුව අයි.ඕ.සී.ය මෙම තීරණය ගෙන ඇති අතර ක්‍රීඩා අමාත්‍යාංශය මෑතකදී පනවන ලද නව ක්‍රීඩා රෙගුලාසි සම්බන්ධවද අමාත්‍යාංශය සහ අයි.ඕ.සී.ය යන දෙපාර්ශ්වයන් යම් එකඟතාවකට පැමිණ ඇත.

ව්‍යවස්ථාව පවා වෙනස් කොට වත්මන් එන්.ඕ.සී. පාලකයන් දිගින් දිගටම බලයේ රැඳී සිටින ආකාරය ඊයේ පැවැති සාකච්ඡාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදැයි වාර්තා වන අතර ඒ සඳහා කිසිදු ව්‍යවස්ථා සංශෝධනයකට අයි.ඕ.සී.යේ අනුමැතිය ලබාදී නැති බවද එහිදී හයිඩර් මහතා පවසා ඇතැයි දැනගන්නට ඇත.

ජාතික ඔලිම්පික් කමිටු විධායක සභාව 23 දෙනකුගෙන් සමන්විත වුවද වත්මන් කමිටු රැස්වීම් පවත්වන්නේ සාමාජිකයන් 6 දෙනකුගේ සහභාගිත්වයෙන් බවද ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වාත් සහභාගි වූ ඊයේ පැවැති රැස්වීමේදී ක්‍රීඩා අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දී ඇතැයිද පැවැසේ. කෙසේ වෙතත් ඔලිම්පික් කමිටු නියෝජිතයා අමාත්‍යවරයාට පවසා ඇත්තේ නව ක්‍රීඩා රෙගුලාසිවලට ඇතුළත් කර ඇති වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයන් ක්‍රීඩා පරිපාලනයට ඒමට පනවා තිබෙන බාධාව හා සංගම් පරිපාලන කාලසීමාවන් අවුරුදු 4, 8, ලෙස පැනවීම ඉවත් කර එම තීරණය ගැනීම අදාළ ක්‍රීඩා සංගම්වලට පවරන ලෙසයි. ක්‍රීඩා අමාත්‍යවරයා ඊට එකඟවී ඇතත් ක්‍රීඩා පරිපාලනයට පැමිණිය හැක්කේ ක්‍රීඩාවේ යෙදුණු අයට පමණක් යන නව රේගුලාසිය ඉවත් කිරීමට අමාත්‍යවරයා එකඟවී නැත. මෙම සාකච්ඡාව සඳහා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතාද සහභාගි වී ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon