මීට පස්සෙ අපිත් කාටත් එක හැන්දෙන් බෙදනවා

  👤  1613 readers have read this article !
Published by : MB WEB 2016-12-16 09:05:00

මේ දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ විශේෂ ආරාධිතයකු ලෙස ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල (අයි.සී.සී.) ප්‍රධාන විධායක නිලධාරී ඩේව් රිචඩ්සන් මහතා කියා සිටියේ එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව මූලික කර ගනිමින් අයි.සී.සී.ය ගෙන ගිය මූල්‍ය පරිපාලන ක්‍රමවේදය ඉතා ඉක්මනින් වෙනස් කර ටෙස්ට් වරම් ලබා ඇති සෑම රටකටම සමාන අයිතිවාසිකම් හිමිවන පරිදි ක්‍රමවේදය සකස් කරන බවයි.

පෙරේදා ශ්‍රී ලංකාවට පැමිණි රිචඩ්සන් මහතා පළමුව ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පැවැති යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගය නැරඹීමට එක්ව සිටි අතර පසුව ආසියානු ක්‍රිකට් කවුන්සිල නිලධාරීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිලධාරීන් හමුවී සාකච්ඡා වට කිහිපයකට සහභාගි විය. ඉන් අනතුරුව ඊයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ අයි.සී.සී. ප්‍රධාන විධායකවරයා "ගෙවී ගිය කාල වකවානුව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව යම් ව්‍යාකූලත්වයකට පත් වෙලයි තිබුණෙ. ඒ නිසා පරිපාලනය, මූල්‍ය කටයුතු සහ තරග පැවැත්වීමේ රටාව ආදී සියලු අංශ යම් ව්‍යාකූල තත්ත්වයකට පත්වෙලයි තියෙන්නෙ. ඒකට පිළියමක් විදියට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය දරන සෑම රටකටම සමාන බලතල සහ ප්‍රතිපාදන හිමිවන පරිදි ක්‍රමවේදය වෙනස් කරන්න ඕන කියල අපි යෝජනා කරල තියෙනව" යනුවෙන් පැවැසීය.

එහිදී අයි.සී.සී. නව යෝජනා පිළිබඳව වඩාත් උනන්දුවෙන් අදහස් දැක්වූ ඩේව් රිචඩ්සන් මහතා "මම හිතනව ඉදිරියේදී ගේන්න ඉන්න සමහර යෝජනා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට ආශ්චර්යක් එක් කරයි කියල. එමඟින් අනිවාර්යයෙන්ම අයි.සී.සී පූර්ණ සාමාජිකත්වය හිමි සෑම රටකටම දැනට ලැබෙනවට වඩා ලොකු කේක් කෑල්ලක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති" යැයි වැඩිදුරටත් පැවැසීය.

තවද දීර්ඝ කාලයක් තිස්සේ අයි.සී.සී. පූර්ණ සාමාජිකත්වය ලබා සිටින රටවල් සංඛ්‍යාව වැඩි කිරීමට බලාපොරොත්තු වන බව පවසන ප්‍රධාන විධායකවරයා "ලොව ප්‍රමුඛ පෙළේ ටෙස්ට් කණ්ඩායම් අතරට නවක කණ්ඩායම් එක් කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනව. දීර්ඝ කාලයක් පුරා අයි.සී.සී. පූර්ණ සාමාජිකත්වය ලැබූ රටවල් සංඛ්‍යාව 10කට සීමා වෙලා තිබුණෙ. අපිට ඕන එම සංඛ්‍යාව 15-16 දක්වා ඉහළ නංවන්න. අනෙක් කාරණය ටෙස්ට් තරගාවලි පැවැත්වීමේදී තරගාවලියට අඩංගු ටෙස්ට් තරග ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත් නොවී ටෙස්ට් තරගාවලි ජයක් හිමි කර ගතහොත් ඒ සඳහා සමානව ලකුණු ලබා දීමට ක්‍රමවේදයක් අපි ගේනව. එයින් අපි බලාපොරොත්තු වෙන්නේ දැනට වසරක් තුළ පැවැත්වෙන ටෙස්ට් තරගය ප්‍රමාණය (60 -70ත් අතර) අඩුකර වැඩි ප්‍රේක්ෂක සංඛ්‍යාවකින් යුත් අඩු තරග ප්‍රමාණයක් පැවැත්වීම" යනුවෙන්ද ප්‍රකාශ කළේය.

මේ අතර එම මාධ්‍ය හමුව අමතමින් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා,

දැනට වසර දෙකකට වරක් පැවැත්වෙන ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලිය වසරක් පාසා පැවැත්වීමට කටයුතු කරන බවත්, වයස අවුරුදු 16න් පහළ සහ 23 පහළ ලෙස වයස් කාණ්ඩ දෙකක් යටතේ වසර දෙකකට වරක් පැවැත්වෙන නව තරගාවලි දෙකක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා, "ආසියානු ක්‍රිකට් කවුන්සිල මූලස්ථානය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමෙන් අනතුරුව පැවැත්වෙන මෙම යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉතා අඩු මූල්‍ය පහසුකම් යටතේ පැවැත්වෙන බවත් තරගාවලිය විකාශනය කිරීම ආදී කටයුතු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වියදමින් සිදුකරන බවද පැවැසීය.

සටහන - කෝසල ගමගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon