සඳුන් ෂෝ එකකදි ගීත වැරැද්දුවාද?

  👤  2290 readers have read this article !
Published by : MB WEB 2016-12-15 11:43:00

ෂෝ එකකදි සඳුන්ට ගීත පැටලුණා කියලා ආරංචියි?

ඔව්. මම තවත් ප්‍රසංග දෙකක් කරලා නිදිවරලා මහන්සියෙන් හිටියේ. ඊට පස්සේ තමයි මම ඔය කියන ප්‍රසංගයට ගියේ. වාහනේට වෙලා ඉන්න වෙලාවෙ මට Stage එකට කතා කළා. මම stage එකට යනකොටම පූජා කරන්නම් ගීතය මිනිස්සු ගායනා කරනවා. ප්‍රසංග වේදිකාවේ ගායනා කරන සින්දුව ගායකයාගෙ ඔළුවෙ තියෙන්න ඕන වගේම බෑන්ඩ් එකත් දැනගෙන තියෙන්න ඕන. ඒත් ඒ වෙලාවෙ බෑන්ඩ් එක Play කළේ ආයෙත් වරක් ගීතය. මම confuse වෙලා මම කිව්වෙ රසිකයෝ ඉල්ලුව පූජා කරන්නම් ගීතය. බෑන්ඩ් එක ගීතය වෙනස් කර ගත්තත් ඒක code 2ක් උඩින් play කළේ. ගීතය අවසන් වෙනකන්ම ඒ code එක වෙනස් වුණේ නැහැ. මට අමාරු වුණත් ගීතයටත් හානි නොවී රසිකයෝ කැමැති විදියට මම ගීතය ගායනා කළා.

ඒ වගේ වැරැදීමක් වුණේ සඳුන් ටෙන්ෂන් වෙලා හිටිය නිසාද?

ඔව්. මමත් ගායකයෙක් වුණාට සාමාන්‍ය මනුස්සයෙක්. දිගටම ප්‍රසංග කිහිපයකට ගිහින් මහන්සි වෙලා අමාරුවෙන් හිටියේ. කාර්යබහුලයි කියලා මම show වලට නොගිහින් හිටියෙ නැහැ. එහෙම වැරැදීමක් වෙන්න ඒ දේවල් හේතු වෙන්නත් ඇති. දෙසැම්බර් මාසෙ නිසා ප්‍රසංගත් වැඩියිනේ.

වුණ වැරැද්දට මොනවගේ ප්‍රතිචාරද ලැබුණේ?

පූජා කරන්නම් ගීතය මම පළමුවැනි වතාවට තමයි code 2ක් උඩින් sing කළේ. අනෙක් ගායකයො ප්‍රසංගවලදී සාමාන්‍යයෙන් ගායනා කරන්නේ පිච් එක අඩුවෙන්. ඒත් මම අමාරුවෙන් හරි ඒ කරපු ගායනය නිසා මට හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර ලැබුණා. ප්‍රවීණ ගායකයො පවා කතා කරලා මම කරපු දේ ඇගැයුවා. මේ සිදුවීම නිසා මට කතා නොකරපු Channel එකක් නැහැ. රසිකයන්ගෙ ප්‍රතිචාරත් ඉහළයි. මම ඒ වෙලාවෙම ප්‍රසිද්ධියෙ පිළිගත්තා මට වැරදීමක් වුණ බව.

පසුගිය කාලේ ක්‍රිකට් තරුවක් වුණ ඩිල්ෂාන් එක්ක ගීතයක් කළේ Hit වෙන්න හිතාගෙනද?

නැහැ. තිරය පිටුපස වෙන දේවල් ගොඩක් අය දන්නෙ නැහැනේ. අපි මේ ගීතය කළේ අවුරුදු 1 1/2කට විතර කලින්. ඒ වෙද්දි මම තරුවක් නෙවෙයි. මම කළේ පද රචනය විතරයි. වීඩියෝ එකට මට ඉන්න කිව්වෙත් ඩිල්ෂාන්. ඩිල්ෂාන් කියන්නේ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම අවධානය දිනාගත්ත ක්‍රිකට් තරුවක්. මම ඒ ගීතයෙන් මිනිස්සු අතරට ගියා. ඒත් ඒ ගීතය කළේ Hit වෙන අරමුණකින් නම් නෙවෙයි.

රැල්ලට යන සින්දුවලට අද ගොඩාක් ගායකයෝ නතුවෙලා. ඒ රැල්ලෙන් මිදෙන්න හිතන්නේ නැද්ද?

ජෝතිපාලගේ මිල්ටන්ගේ කාලෙත් සින්දු රැලි ආවා. මෑත කාලේ තියෙන මල් සින්දු වගේම ජාත්‍යන්තර සංගීත රැල්ලකුත් අපේ තියෙනවනේ. මම නම් රැල්ලකට නෙවෙයි මිනිස්සු ඉල්ලන දේ තමයි දෙන්නේ. ඒකෙන් මිදුණොත් මම ෆේල් වෙනවා.

ගායනයට හරි, කරන විලාසිතාවලට හරි සඳුන් Follow කරන කෙනෙක් ඉන්නවද?

නැහැ. මම කාවවත් Follow කරන්නෙ නැහැ. මම Hair Style කලිනුත් කළා. මගේ විදියට විලාසිතා කරන්නේ. ඒත් මම ගායන ක්‍ෂේත්‍රයට ඇවිත් පැවැත්ම හදාගන්න නම් කෙනෙක්ව Follow කළා. ඒ රුවන් හෙට්ටිආරච්චි. මම රුවන් එක්ක අදටත් ගොඩාක් හිතවත්.

සඳුන්ගේ ගීතවල විෂුවල්වලට නිතරම ධනුක වගේ ජනප්‍රිය චරිතයක් ගන්නේ විෂුවල් එක ජනප්‍රිය කර ගන්නද?

මගේ ගීත 3ටම විෂුවල්වලට ගත්තේ ධනුකව. ධනුකව ගන්න විශේෂ හේතුවක් නැහැ. කොහොමත් ධනුක නළුවෙක් විදියට සාර්ථක කෙනෙක්. ඒ නිසා එයා මගේ වීඩියෝ එක රසිකයන් අතරට යවන්න ශක්තියක් වුණා. පූජා කරන්නම්, ආයෙත් වරක් ගීතවලට ධනුකගෙන් පාටක් ආවා කිව්වොත් හරි.

ශාලිකා රංගනී සමරදිවාකර
ඡායාරූප - අශාන් ගමගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon