ආසියානු යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෝ අද සිට ලංකාවේදී සටන් වදිති

  👤  2116 readers have read this article !
Published by : MB WEB 2016-12-15 08:38:11

කෝසල ගමගේ

කලාපීය රටවල් 8ක සහභාගිත්වයෙන් මෙරටදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උළෙල අති උත්කර්ෂවත් ලෙස කොළඹ ගලදාරි හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමාරම්භක උළෙලට තරගාවලිය නියෝජනය කරන රටවල් 8 නියෝජනය කරමින් මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් සහභාගිවී සිටිනු දක්නට ලැබුණු අතර ආසියානු ක්‍රිකට් කවුන්සිල නිලධාරීන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය දරන සියලුම ක්‍රීඩා සංගම් නියෝජිතයෝද ඒ අතර වූහ.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන කාර්යාලය පසුගිය අගෝස්තු මස මෙරට ස්ථාපිත කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ප්‍රථම ආසියානු කලාපීය ක්‍රිකට් තරගාවලිය ලෙස මෙම තරගාවලියට සුවිශේෂී ස්ථානයක් හිමි වන අතර තරගාවලියට අදාළව 'ඒ' කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය නේපාලයට එරෙහිව අද එන්.සී.සී. පිටියේදී පැවැත්වේ. මීට අමතරව 'ඒ' කාණ්ඩයෙන් තරග වදින ඉන්දියාව සහ මලයාසියාව අතර තරගය සී.සී.සී. පිටියේදී පැවැත්වෙන අතර 'බී' කාණ්ඩයේ පාකිස්තානය සහ සිංගප්පූරුව අතරත්, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය අතරත් තරග දෙකක් පිළිවෙළින් ගාල්ල ජාත්‍යන්තර පිටියේදී සහ මාතර උයන්වත්ත පිටියේදී අද පැවැත්වේ.

ක්‍රීඩාව තුළින් සමාජීය සබඳතාවන් වඩාත් තහවුරු කර ගත හැකි බව තමා විශ්වාස කරන බව පවසමින් තරගාවලියේ සාර්ථකත්වය වෙනුවෙන් සුබපැතුම් එක් කර ඇති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කලාපීය සහයෝගිතාව වර්ධනය කර ගැනීම සඳහා මෙම තරගාවලිය මහත් රුකුලක් වනු ඇතැයිද පවසා ඇත.

මේ අතර ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරාධනාවක් පරිදි ඊයේ ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරි ඩේව් රිචඩ්සන් මහතා එන්.සී.සී. පිටියේදී අද පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පළමු තරගය නැරැඹීමට නියමිතව ඇත.
ඉදිරි තරග කාලසටහන මෙසේය.

"ඒ" කාණ්ඩය
16දා ශ්‍රී ලංකාව-මලයාසියාව-මොරටුව ද සොයිසා පිටිය, ඉන්දියාව-නේපාලය-සී.සී.සී. පිටිය.
18දා ඉන්දියාව-ශ්‍රී ලංකාව-මොරටුව ද සොයිසා පිටිය, මලයාසියාව-නේපාලය _ එන්.සී.සී. පිටිය.
"බී" කාණ්ඩය
16දා සිංගප්පූරුව-බංග්ලාදේශය _ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය, ඇෆ්ගනිස්ථානය-පාකිස්තානය-උයන්වත්ත පිටිය.
18දා පාකිස්තානය-බංග්ලාදේශය-ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය, ඇෆ්ගනිස්ථානය-සිංගප්පූරුව-මග්ගොන සරේ පිටිය.
20 වැනිදා පළමු අවසන් පූර්ව තරගය _ ආර්. ප්‍රේමදාස පිටියේදී (දිවා/රාත්‍රි)
21 වැනිදා දෙවන අවසන් පූර්ව තරගය _ ආර්. ප්‍රේමදාස පිටියේදී (දිවා/රාත්‍රි)
23 වැනිදා අවසන් මහා තරගය _ ආර්. ප්‍රේමදාස පිටියේදී (දිවා/රාත්‍රි)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon