ආසියානු යෞවනයන්ගේ ක්‍රිකට් සටන හෙට ලංකාවේ ක්‍රීඩාංගණ හතරකදී ඇරැඹෙයි

  👤  1440 readers have read this article !
Published by : MB WEB 2016-12-14 12:18:18

විචිත්‍ර වීරසිංහ

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, මලයාසියාව, නේපාලය, සිංගප්පූරුව හා ඇෆ්ගනිස්ථානයේ සහභාගීත්වයෙන් අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (15දා) සිට 23දා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.

තරගාවලියට සහභාගි වන රටවල් 8 "ඒ" සහ "බී" ලෙස කාණ්ඩ දෙකක් යටතේ තරග වදින අතර, ශ්‍රී ලංකාව, ඉන්දියාව, මලයාසියාව හා නේපාලය "ඒ" කාණ්ඩය යටතේත් පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය හා සිංගප්පූරුව "බී" කාණ්ඩය යටතේත් තරග වැදීමට නියමිතව ඇත.

ඒ අනුව හෙට "ඒ" කාණ්ඩයේ තරග දෙකක් ලෙස ශ්‍රී ලංකාව හා නේපාලය අතර තරගය එන්.සී.සී. පිටියේදීත්, ඉන්දියාව හා මලයාසියාව අතර තරගය සී.සී.සී. පිටියේදීත් පැවැත්වෙන අතර, "බී" කාණ්ඩයේ තරග දෙකක් ලෙස පාකිස්තානය හා සිංගප්පූරුව අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදීත්, ඇෆ්ගනිස්ථානය හා බංග්ලාදේශය අතර තරගය මාතර උයන්වත්ත පිටියේදීත් පැවැත්වේ.

2012 වසරේදී පළමු වරට මලයාසියාවේදී පැවැති මෙම තරගාවලියේ අවසන් තරගය සඳහා ඉන්දියාව හා පාකිස්තානය සුදුසුකම් ලබා තිබූ නමුත් වර්ෂාව හේතුවෙන් තරගය නොපැවැත්වීම හේතුවෙන් දෙපිලම සම ශූරයන් බවට පත්විණි. ඉන් අනතුරුව 2013-14 වසරේදීත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති දෙවැනි තරගාවලියේදී පාකිස්තානය පරාජයට පත්කළ ඉන්දියාව ශූරතාව දිනාගැනීම කැපී පෙනුණි.

තෙවැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලියේ "ඒ" හා "බී" කාණ්ඩයන්හී ඉහළින් සිටින කණ්ඩායම් දෙක බැගින් දෙසැම්බර් 20 හා 21දා යන දිනයන්හිදී පැවැත්වෙන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර, අවසන් තරගය දෙසැම්බර් 23 යන දිනයේදීත් පැවැත්වීමට නියමිතව තිබේ.

මේ අතර තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ගාල්ල රිච්මන්ඩ් විදුහලේ තුන් ඉරියව් ක්‍රීඩක මෙන්ම වමතින් හා දකුණතින් පන්දු යැවීමට සුවිශේෂී දක්‍ෂතාවක් ඇති කමිඳු මෙන්ඩිස්ට හිමිව ඇති අතර, උප නායකත්වය හිමිව තිබෙන්නේ ගාල්ල ඇලෝසියස් විදුහලේ අශේන් බණ්ඩාරටය.

ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ සංචිතය _ කමිඳු මෙන්ඩිස් (නායක-රිච්මන්ඩ්), අශේන් බණ්ඩාර (උපනායක-ඇලෝසියස්), තිලාන් ප්‍රශාන් (මාතර ශා.සර්වේෂස්), වනිත වන්නිනායක (කුරුණෑගල ශා.ආනා), රවිඳු සංජන, හරීන් බුද්දිල (ඇලෝසියස්), හසිත බෝයගොඩ, තිසරු රශ්මික (ත්‍රිත්ව), ජෙහාන් ඩැනියෙල්, රෙවාන් කෙලී (ශා. ජෝෂප්), විශ්ව චතුරංග (වේල්ස් කුමර), නිපුන් රංශික (අම්බලන්ගොඩ පී.ද එස්. කුලරත්න), ලසිත් කෘස්පුල්ලේ (මාරිස්ටෙලා), ක්‍රිෂාන් සංජුල (මැසිනොද්), ප්‍රවීන් ජයවික්‍රම (ශා.සෙබස්තියන්)

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්