නතර වුණ යාල්දේවි ගැන සමීර කතා කරයි

  👤  2313 readers have read this article !
Published by : MB WEB 2016-12-12 17:35:55

කොහොමද සමීර ජීවිතේ?

වරදක් නැහැ. මගේ මීදුම් අම්මා ටෙලි නාට්‍ය නම් විකාශය වෙලා ඉවර වුණා. දැන් අලුත් ටෙලි නාට්‍යයකට ලෑස්ති වෙමින් ඉන්නවා.

වරදක් නෑ කිව්වට වරදක් වෙලා සමීරගේ යාල්දේවි හිටි හැටියෙම නතර වුණානේ. එහෙම වුණේ ඇයි කියලා කියමු?

රටක නිර්මාණකරුවන් කියන්නේ ස්වාධීන සහ ප්‍රේක්‍ෂකයන්ට වටින දෙයක් දෙන්න ඉන්න උදවියක්. නමුත් මම කරපු යාල්දේවි ටෙලි නාට්‍ය නතර වෙන්න යම් යම් ගැටලු ටිකක් උද්ගත වුණා. මේ යන නාට්‍ය රැල්ලෙන් ගොඩදාන්න උත්සාහ කරපු නිර්මාණයක් තමයි යාල්දේවි කියන්නේ. මම නිර්මාණයට සාර්ථකත්වයක් දෙන්න උත්සාහ කළා. නමුත් විකාශයට සුදුසු තත්ත්වයක තිබියදීත් ඒ නාට්‍ය නැවැත්තුවේ ඇයි කියලා මම දන්නේ නැහැ. නාට්‍ය කොටස් තිස් පහක් විකාශය වෙලා නතර වුණා.

මාධ්‍ය ආයතනය මොන වගේ හේතුවක්ද ඒ වෙනුවෙන් ඉදිරිපත් කළේ?

ඔවුන් කිව්වා නාට්‍යයේ යම් යම් අඩුපාඩු තියෙනවා කියලා.

ඒ අඩුපාඩු නාට්‍යයේ තිබ්බා කියලා සමීරත් පිළිගන්නවාද?

නිර්මාණය සියයට සියයක් සාර්ථකයි කියලා මම කියන්නේ නෑ. යම් යම් අඩුපාඩු තියෙන්න ඇති. හැබැයි අපි රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයට ස්ක්‍රිප්ට් එක පෙන්වලා අනුමැතිය අරගෙන තමයි නිර්මාණය කළේ. මම මේ යන විදියේ නාට්‍ය කරන්නේ නැහැ. මේ නාට්‍ය කරන්න යම් කාලයක් ගියා. අපි දුර පළාත්වල ෂූට් කළා. හොඳට හිතලා දේවල් කළේ. ඉක්මනට ඉක්මනට දේවල් මේ නාට්‍යයේ සිද්ධ වුණේ නැහැ. බොහොම හිමින් තමයි දේවල් සිද්ධ වුණේ. නාළිකාවේ යම් යම් එකඟතාවන්ට මට එකඟ වෙන්න බැරිවුණා. ඒ නිසා ගැටුමකින් තොරව වැඩේ නතර වුණා.

නිර්මාණයක් එහෙම හිටි හැටියේ නතර වෙන එක ඇතුළේ අසාධාරණයක් තියෙනවනේ?

මේ නාට්‍ය නතර වුණාම මට අසාධාරණයක් වෙනවා නේද? ඒ නිර්මාණයේ නළු නිළියන්ට මොකද වෙන්නේ කියලා කවුරුත් ඇහුවේ නෑ. මේ රටේ කිසිම කෙනකුට ඒවා අදාළ නෑ. මම කරනවා නම් ඒක මට විතරයි කියලා තමයි ගොඩක් අය හිතන්නේ. වරදක් තිබුණා නම් ඒක හදාගෙන ඉදිරියට යනවා මිසක් එක පාරට නාට්‍යයක් නතර වෙද්දී මම වගේම මගේ කණ්ඩායමත් අසාධාරණයට ලක් වෙනවා.

ඒ අසාධාරණය වෙනුවෙන් සමීරට පෙනී සිටින්න බැරිද?

පුළුවන් තරම් ඒ වෙනුවෙන් පෙනී සිටියා. මම ඉදිරිපත් කරපු තර්ක සහ එයාලා ඉදිරිපත් කරපු තර්ක තල දෙකක යන්නේ. බියගුලුකමවත් දුර්වල කමවත් නෙවෙයි. ගැටුමක් නිර්මාණය කරන්න නෙවෙයි නාට්‍යයක් හැදුවේ. ඒ නිසා නිශ්ශබ්දව සිටීම හොඳයි. නමුත් මගේ නිර්මාණය ලොකු අසාර්ථක නිර්මාණයක් නෙවෙයි. මමත් හැදීගෙන එන අධ්‍යක්‍ෂවරයෙක් නිසා මගේ හෙට දවස විනාශ වෙන්න මම නිර්මාණයක් කරන්නේ නැහැ.

නාළිකාවෙන් යාල්දේවි නතර කරන්න කලින් වෙන වෙන පුද්ගලයන්ගෙන් බලපෑම් එල්ල වුණාලු නේද?

මට නිර්නාමිකව දුරකතන ඇමතුම් පවා ආවා. නාට්‍ය නැවැත්තුවා නම් හොඳයි නේද කියලා ඇහුවා. ඒත් මම නාට්‍ය එහෙම නතර කළේ නැහැ. අඩු ගානේ මම ඒ ගැන නාළිකාවටවත් කිව්වේ නැහැ. නිර්මාණකරුවා ස්වාධීන මිනිහෙක් කියලා හිතාගෙන මම වැඩ කළේ.

හැබැයි යාල්දේවිත් එක්ක එකතු වුණ ලොකු ප්‍රේක්‍ෂක පිරිසක් හිටියනේ?

ඔව්... ටෙලි නාට්‍ය නතර වුණාමත් ගොඩක් අය කතා කරලා ඇහුවා ඇයි නාට්‍ය නතර වුණේ කියලා.

අඳුරු සෙවණැලි නාට්‍යයේදීත් ඔබට අසාධාරණයක් වුණානේ?

ඒ නාට්‍යයෙත් මට අධ්‍යක්‍ෂණයෙන් ඉවත් වෙන්න වුණා. පරාජයකින් තොරව කිසිම දෙයක් දන්නේ නැතිව තමයි අපි ඒවායෙන් ඉවත් වුණේ.

සමීරට මෙච්චර කෙනහිලිකම්වලට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ නවකයෙක් නිසාද?

ඒක මම ඇත්තටම දන්නේ නෑ. අපිට වෙන අසාධාරණයන් වැඩියි. ඒකට හේතුව පිළියම මොකක්ද කියලා මම දන්නේ නෑ. හැමෝම හොඳ අධ්‍යක්‍ෂවරු නිහඬයි කියලා තමයි කියන්න තියෙන්නේ. එයාලා වැඩ කරන්න ගත්තා නම් මේ රැලි බිඳෙයි.

රැල්ලට ගියා නම් ඔය අසාධාරණවලට මුහුණ දෙන්න සිදුවෙන එකක් නෑ කියලා හිතෙන්නේ නැද්ද?

රැල්ලට මුහුවුණොත් ඒ අසාධාරණ වෙන එකක් නැහැ. සමහර විට එහෙම වුණාම නළු නිළියන්ට ඕන විදියට, නාළිකා ප්‍රධානීන්ට ඕන විදියට වැඩ කරන්න සිද්ධ වෙයි. මම එතැනට එන්නේ නෑ. මුදල් පස්සේ යනවා නම් මට ගොඩක් දේවල් කරන්න තිබ්බා. මුදල් හොයන්න ගියොත් ආට් එක මිස් වෙනවා. මම නිර්මාණයක ආට් එක හොයන්න උත්සාහ කරන්නේ. මට රැලිවලට යන්න වුවමනා නෑ.

මෙහෙම අසාධාරණකම් මතුවෙද්දී අධ්‍යක්‍ෂවරයෙක් විදියට පවතින්න පුළුවන්ද?

අධ්‍යක්‍ෂවරයෙක් විදියට පවතින එක හරි අමාරු කාර්යයක්. හරියට වැඩක් කරද්දී අධ්‍යක්‍ෂවරයෙක්ට අවුරුද්දට එක වැඩයිනේ කරන්න වෙන්නේ. ඒකත් අයින් කළාම අපිට යන්න තියෙන තැන මොකක්ද? කලාව ගැන තියෙන උණ නිසා තමයි මේ ගමන යන්නේ. උණ හොඳ වුණාම එක්කෝ කලාව අතහරියි. නැත්නම් වෙන වෙන තැන්වල ප්ලේස් වෙයි.

සහාය අධ්‍යක්‍ෂණයටත් එකතු වෙලා ඉන්නවා කියලා ආරංචියි?

ඔව්. දැනට මම අනුරුද්ධ ජයසිංහගේ චිත්‍රපටයක සහාය අධ්‍යක්‍ෂවරයෙක් විදියට වැඩ කරන්න සූදානමින් ඉන්නවා. ඒක මගේම සිනමා නිර්මාණයක් කරන කාර්යයට රුකුලක් වෙයි.

ඒ කියන්නේ සිනමාවෙත් සමීරගේ නම තියන්නද ලෑස්ති වෙන්නේ?

නිර්මාණකරුවට වඩා නිර්මාණය තමයි වැදගත් වෙන්නේ. මට නමක් තියන්න කියලා අදහසක් නෑ. නිදහස්ව අපිට හිතෙන දේ කරන්න වටපිටාවක් හැදෙනවා නම් ඒ ඇති.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්