ලකී ඩයස්ගෙ සීතල ගිනිදැල් හිටිහැටියේ නතර වුණේ ඇයි?

  👤  2679 readers have read this article !
Published by : MB WEB 2016-12-07 13:43:13

පසුගිය කාලේ අලුත් චිත්‍රපටයක් කරනවා කිව්ව ලකී දැන් මොකද සද්දයක් නැත්තේ?

අයියෝ මම ෆිල්ම් එක කරලත් ඉවරයි. මම කොහොමත් සද්ද බද්ද නෑනේ. මගේ පාඩුවේ මම ෆිල්ම් එක කරගෙන ගියා. මේක හාසේ‍යාත්පාදක චිත්‍රපටයක්. විජය නන්දසිරි, හිමාලි, සිරිවර්ධන, ශිරෝමිකා ප්‍රනාන්දු වැනි ප්‍රවීණ නළු නිළියන් චිත්‍රපටයේ රඟපානවා.

දැන් කාලේ අධ්‍යක්‍ෂවරු වැඩ කරන්නේ නිෂ්පාදකට ඕන විදියට කියලා පැතිරෙන කතාවේ ඇත්තක් තියෙනවද?

ඔව්. එහෙම අවස්ථාත් තියෙනවා. ඊට අමතරව ඉතින් ස්වාධීනව වැඩකරන අධ්‍යක්‍ෂවරුත් ඉන්නවා. එහෙම කවුරුත් කිව්ව පළියට වැඩ කරන්න බෑ. මම වැඩ කරන්නෙ මට නිදහසේ කරන්න දෙන නිර්මාණ එක්ක විතරයි. නමුත් මේ දක්වා මට මුණගැහුණු නිෂ්පාදකවරුන් ඉතාම හොඳයි. ඒ නිසා මට නම් ගැටලුවක් මතුවෙලා නෑ.

ඇත්තටම ඇයි බ්රේකින් නිවුස් හොර රහසේ හැදුණේ?

මම එහෙම අඬබෙර ගහ ගහ වැඩ කරන මනුස්සයෙක් නෙවෙයි. අඬබෙර ගහන්න ගියාම කේස්. පළමුවැනි පදේ ගහද්දීම බෙරේ පළුවකුත් නෑ. අන්තිමට ගහපු මිනිහත් නෑ. මගේ ළඟ බොරු ෂෝ නෑ. මම මුහුරත් තියන්නේ නෑ. මගේ පෞද්ගලික ජීවිතෙත් මම හරිම නිශ්ශබ්දයිනේ. නමුත් අඬබෙර ගහන්න ඕන තැනදී මම අඬබෙර ගහනවා.

යශෝරාවයේ බලදේවගේ චරිතය වගේ චරිතයක් ආයෙත් රඟපාන්න ලැබුණේ නෑ නේද?

ඒක ජීවිතේට එක පාරක් ලැබෙන විදියේ චරිතයක්. මගේ මුල්ම ටෙලි නාට්‍යයෙන් ඒ භාග්‍ය මට ලැබුණා. මීට ටික කාලෙකට කලින් යශෝරාවය නැවත පෙන්නුවාම නැවතත් ඒ චරිතයට සහ ටෙලි නාට්‍යයට අද්විතීය ප්‍රතිචාරයක් ලැබුණා. නමුත් එවැනි චරිතයක් නැවත රඟපෑමේ අවශ්‍යතාවක් නෑ. මොකද ඩුප්ලිකේට් කළාම වැඩේ වල් වෙනවා. ඕන තරම් ඒ වගේ චරිත ලැබුණා. නමුත් එවැනි චරිතයක් නැවත රඟපෑමේ තේරුමක් නෑ.

රඟපෑම ඔය කියන තරම්ම ලේසිද?

අනෙක් අය ගැන මම දන්නේ නෑ. මට නම් රඟපාන එක හරිම ලේසියි. මම දැකලා තියෙනවා සමහර අය පිටපත අරගෙන දෙබස් තෝරගෙන හයිලයිට් පෙන් ගෙන්නගෙන ඒවා හයිලයිට් කරගෙන මහා වධයක් විඳිනවා. මම ඒකට වැරැද්දක් කියනවා නෙවෙයි. නමුත් මම එහෙම නෑ. මට පිටපත දුන්නට පස්සේ මම පිටපත පිම්මට කියවනවා. එතනින් පස්සේ චරිතය අවබෝධ කරගෙන රඟපාන්න මට පුළුවන්.

ඒ ක්‍රමය තුළින් අවශ්‍ය දේ චරිතය හරහා ඉස්මතු වෙනවා කියලා හිතනවද?

ඇත්තටම සමහර වෙලාවට පිටපතේ තියෙන දේ නෙවෙයි වෙනත් දෙබස් අපි චරිතයට අවශ්‍ය විදියට යොදාගන්නවා. යර්ස් බොස් කරද්දී මමයි විජය අයියයි අධ්‍යක්‍ෂ හරහා චරිතය දැනගෙන ඒ අනුව චරිතයට අලුත් දේවල් එකතු කරගෙන රඟපෑවා. ඒකෙන් චරිතයට හානියක් වුණේ නෑ. එහෙම එකතු කරනවා කියලා චරිතය එහෙම පිටින්ම වෙනස් කළේ නෑ. චිත්‍රපටවලදීත් එහෙම කළා.

ඔබ අධ්‍යක්‍ෂණය කළ සීතල ගිනිදැල් නැවැත්තුවාද? නවත්තන්න කිව්වද?

ඇත්තටම මට ඕන නිසා මම නැවැත්තුවා. කොටස් 85කදී සිදුවිය යුතු සියල්ල සිදුවෙලා කතාවේ කූඨෝප්‍රාප්තිය ආවා. ඒ වගේම ඒක ප්‍රේක්‍ෂකයා බලාපොරොත්තු නොවන අවසානයක් වුණා. සමහරු අවසාන කොටස බලලා අඬලත් තිබුණා. ඒ වගේම ප්‍රේක්‍ෂක ප්‍රතිචාරත් ඉතාම හොඳ මට්ටමක තිබුණා.

ඉස්සරහට නැවත ඔබේම නිර්මාණයක් දැකගන්න ප්‍රේක්‍ෂකයන්ට අවස්ථාව ලැබේවිද?

එකක් ලියලා ඉවරයි. ඇත්තටම මම විතරක් නෙවෙයි. අපි පොඩි කතාබහක් දාගෙන තිර පිටපතක් ලිව්වා. අපේ දක්‍ෂ රචකයෙක් වන රෙහාන් රවින්ද්‍ර එක්ක එකතු වෙලා තමයි පිටපතේ වැඩේ කෙරුණේ. එන දෙසැම්බරයේ රූගත කිරීම ආරම්භ වෙනවා.

ශාලිකා රංගනී සමරදිවාකර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්