පාසල් පරිගණක ආරක්ෂණ සිදුවීම් ප්‍රතිචාර සංසදයක් පිහිටුවයි

  👤  978 readers have read this article !
Published by : MB WEB 2017-01-11 12:16:19

හර්ෂණී අර්සකුලරත්න

පාසල් සිසුන් අන්තර්ජාලය භාවිත කිරීමේදී මුහුණ දෙන අහිතකර තත්ත්වයන්ගෙන් ඔවුන් මුදා ගැනීම සහ අන්තර්ජාලයේදී මුහුණ පෑ හැකි යම් ගැටලුකාරී අවස්ථාවන්හිදී එම ගැටලු වඩාත් ක්‍රමානුකූලව විසඳා ගැනීමට මඟපෙන්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය එක්වී ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ සහභාගීත්වයෙන් පාසල් පරිගණක ආරක්ෂණ සිදුවීම් ප්‍රතිචාර සංසදය (EDUCSIRT) පිහිටුවා ඇත.

අන්තර්ජාලය භාවිතයත් සමඟ වර්තමානයේ ඉහළ යන විවිධ ගැටලුකාරී තත්ත්වයන් අවධානයට ලක් කොට දීප ව්‍යාප්තව මෙම සංසදය ව්‍යාප්ත කිරීමේ අරමුණින් අධ්‍යාපන කලාප මට්ටමින් ගුරුවරුන් දහසක් පුහුණු කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇත. මේ වනවිට ගුරුවරුන් සියයකට පමණ පුහුණුව ලබාදී අවසන් කර ඇති අතර සියලු පුහුණු කිරීම් කටයුතු මේ වසර තුළදී අවසන් කිරීමට නියමිතය.

ඉදිරියේදී මේ පාසල් පරිගණක ආරක්ෂණ සිදුවීම් ප්‍රතිචාර සංසද පාසල් මට්ටමින් ස්ථාපිත කර තොරතුරු තාක්ෂණ ශිෂ්‍ය සමාජ සමඟ එක්වී කටයුතු කරන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

මෙය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඩිජිටල් අධ්‍යාපන වැඩසටහන පාසල් අධ්‍යාපනය තුළ ක්‍රියාත්මක කිරීමේ ජාතික වැඩපිළිවෙළේ එක් අදියරයකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්