ජනාධිපතිතුමනි සුදුස්සෙකු අගමැති ධුරයට පත්කර අලුත් ආණ්ඩුවක් හදන්න

  👤  1353 readers have read this article !
Published by : MB WEB 2017-01-11 11:10:17

සිදත් මෙන්ඩිස්

භික්ෂුන් වහන්සේට කුරිරු ලෙස පහරදුන්, ලේ සෙලවූ ආණ්ඩුවකට වැඩිකල් බලයේ සිටීමට අවස්ථාවක් නොමැති බවත් ආණ්ඩුවේ මෙම ක්‍රියාවන්ට එරෙහිව පත්තනික්ඛුජ්ජන කර්මය පැනවීමට මහා සංඝරත්නයෙන් ඉල්ලීමක් කරන බවත් පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.

නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විධායකය නොසලකා හරිමින් කටයුතු කරන බැවින් වහාම විධායකයේ ඇති අගය අවබෝධ කරගනිමින් සුදුසු අයකු අගමැති ධුරයට පත් කොට නව ආණ්ඩුවක් බිහි කිරීමට කටයුතු කරන ලෙසයි.

අග්‍රාමාත්‍යවරයා හිතුවක්කාරී පාලනයක් ගෙනයමින් ඔහුගේ හිතවත් අනුගාමිකයන් සමඟ ක්‍රියාකරමින් මේ වන විට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රාණ ඇපයට ගෙන ඇති බවද ආනන්ද හිමියෝ එහිදී පෙන්වා දුන්හ. අගමැතිවරයාට ආණ්ඩුව ගෙනියන්න සල්ලි නැති නම් මෙරට සම්පත් කුණුකොල්ලයට විකිණීම නතර කරන ලෙසත් අවශ්‍ය නම් මහජනතාව හමුවට ගොස් පිණ්ඩපාතය මඟින් මුදල් උපයා ගෙන ආණ්ඩුවට ලබාදීමට සූදානම් බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ප්‍රකාශ කළහ.

ආනන්ද හිමියෝ මෙසේද පැවැසූහ. මහනායක හිමිවරුන්ට කතා කරන්න කාලයක් ඇවිත්. මේ ආණ්ඩුවට පිරිත් කියල වැඩක් නැහැ. උජුපටිපන්න ගුණයෙන් නැඟිට, පාට, පක්ෂ භේදයකින් තොරව නැඟිටින්න ඕන කාලය උදාවෙලා. ගඩොල් කැටයට, බත්පැකට් එකට, සිමෙන්ති කොට්ටයට සිතන යුගය අවසන් කළ යුතුයි.

ඉඩම් විකිණීමට එරෙහි මහා සංඝරත්නය ප්‍රමුඛ ජනතාව හම්බන්තොට දී කළ සත්‍ය ක්‍රියාවට මේ ආණ්ඩුවේ මැරයො පහර දුන්නා. මට්ටක්කුලිය, අනුරාධපුර, මාතර ප්‍රදේශවලින් ආ මේ ආණ්ඩුවෙ මැරයො තමයි පහර දුන්නෙ. හම්බන්තොට ජනතාව ආණ්ඩුවෙ උත්සවයට හිටියෙ නැහැ. ලංකාව පුරා සිටින මිනිසුන් ගෙනාවා. අපේ සාමකාමී සත්‍යග්‍රහයට ආණ්ඩුව මැරයො දමලා පහර දුන්නා. හම්බන්තොට ජනතාව මේ ආණ්ඩුවට එරෙහිව නැඟී සිටින එක වැඩි අෑතක නෑ. මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ ගැන අවධානය යොමු කරන්න කියලා. ආණ්ඩුවට කළමනාකරණ දැනුමක් තිබුණ නම් හම්බන්තොට වරාය විකුණන්නෙ ඇයි. ආණ්ඩුව සෑම අංශයකින් අද අසමත් වෙලා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්