චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය යුද හමුදාව හා රිනවුන් ජය පැන් බොති

  👤  1450 readers have read this article !
Published by : MB WEB 2017-01-10 16:00:47

ඡායාරූපය -වෙනුර චන්ද්‍රමලිත

ලංකා පාපන්දු සම්මේලනය ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රාහකත්වයෙන් සංවිධානය කරනු ලබන ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ ඊයේ (09දා) පැවැති සුපිරි අට වටයේ තරගයකදී ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම ගෝල 3-2ක් ලෙස පරාජය කිරීමට යුද හමුදා කණ්ඩායම සමත්විය.

කැලණිය පාපන්දු සංකීර්ණ පිටියේදී පැවැති මෙම තරයේ පළමු භාගයේදී මොහොමඩ් ඉසඩීන් තරගයේ 20 වැනි විනාඩියේදී පළමු ගෝලය යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් එක්කළද එයට අභියෝග කළ නාවික හමුදාවේ ක්‍රිස්ටීන් ප්‍රනාන්දු තරගයේ 24 වැනි විනාඩියේදී එක්කළ ගෝලය හේතුවෙන් තරගය දෙපිලටම දෝලනය විය.

එහෙත් නැවතත් ක්‍රියාත්මක වූ මොහොමඩ් ඉසඩීන් තරගයේ 32 වැනි විනාඩියේදී ලබාගත් ගෝලය හේතුවෙන් තරගයේ පළමු භාගය ඉදිරියෙන් සිටීමට යුද හමුදා ක්‍රීඩකයෝ සමත්වූහ.

දෙවැනි භාගයේදී මධුෂාන් ද සිල්වා යුද හමුදාව වෙනුවෙන් ගෝලයක් එක්කරද්දී මේනක ප්‍රනාන්දු ශ්‍රී ලංකා නාවික හමුදා වෙනුවෙන් ගෝලයක් ලබාගත්තේය.

මේ අතර පසුගිය 8 වැනිදා පැවැති රිනවුන් හා නිව්යං අතර තරගයේදී පළමු භාගයේදී ගෝල 1-0ක් ලෙස නිව් යං කණ්ඩයම ඉදිරියෙන් සිටියද දෙවැනි භාගයේදී ජොබ් මයිකල් (තරගයේ 52වැනි විනාඩියේදී) ලබාගත් ගෝලය හා ප්‍රතිවාදී නිව් යං කණ්ඩායමේ වයි. ආර්. පෙරේරාගේ අතපසුවීමකින් රිනවුන් කණ්ඩායමට හිමිවූ ගෝලයත් (65 වැනි විනාඩියේදී) සමගින් අවසානයේදී තරගය ගෝල 2-1ක් ලෙස ජය ගැනීමට රිනවුන් කණ්ඩායමට හැකි විය.

හසිත ප්‍රියංකර තරගයේ 12 වැනි විනාඩියේදී ලබාගත් ගෝලය නිව් යං කණ්ඩායම ලබාගත් එකම ගෝලයේ හිමිකරුවා බවට පත්වී තිබිණි.

පළමු වටයේදී කණ්ඩායම් 18කගේ සහභාගිත්වයෙන් පැවැති මෙම තරගාවලියේ සුපිරි අට සඳහා මේ වන විට තේරී පත්වී සිටින බ්ලූ ස්ටාර්, ගුවන් හමුදා, කලම්බු එෆ්.සී., සොලීඩ්, රිනවුන්, ශ්‍රී යුද හමුදාව, නිව් යං, ශ්‍රී ලංකා නාවික හමුදා යන හොඳම කණ්ඩායම් "ඒ" හා "බී" වශයෙන් කාණ්ඩ දෙකකට වෙන්කර ඇති අතර, එක් කණ්ඩායමක් තරග තුනක් බැගින් සහභාගි වීමට නියමිතය.

විචිත්‍ර වීරසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්