ශ්‍රී ලංකාවට එරෙහිව තවත් නවක දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නෙක්

  👤  1882 readers have read this article !
Published by : MB WEB 2017-01-09 12:31:29

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ජොහැනස්බර්ග්හි වොන්ඩරර්ස් ක්‍රීඩාපිටියේ පැවැත්වෙන 3වැනි ටෙස්ට් තරගය සඳහා නවක වේගපන්දු යවන්නකු ලෙස ඩුඇනි ඔලිවර් දකුණු අප්‍රිකානු සංවිතයට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

පසුගිය ටෙස්ට් තරග දෙක සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට ක්‍රීඩා කළ කයිල් ඇබට් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්වීමත් සමඟ ඇති වූ පුරප්පාඩුව සඳහා මෙසේ ඔලිවර් අප්‍රිකානු පිලට කැඳවා ඇතැයි පැවැසේ. 24 වැනි වියේ පසුවන ඔලිවර් දකුණත් වේගපන්දු යවන්නෙක් වන අතර එරට පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ඉදිරියෙන්ම සිටින වේගපන්දු යවන්නාද වන ඔහු ගෙවී ගිය දේශීය ක්‍රිකට් තරගාවලියේදී කඩුලු 28ක් (සාමාන්‍ය 21.60) බිඳ දමා ඇත.

එළැඹෙන තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගය පැවැත්වෙන වොන්ඩරර්ස් ක්‍රීඩාපිටිය පෙර තරග දෙක ක්‍රීඩා කළ තණතීරුවලටත් වඩා වේගපන්දු යවන්නන්ට උචිත බැවින් දකුණු අප්‍රිකානු පන්දු යැවීමේ අංශයට වේගපන්දු යවන්නන් සියලු දෙනාම යොදා ගැනීමට ඉඩ ඇතැයි පැවැසේ. ඒ අනුව මෙතෙක් ටෙස්ට් වරම් නොලද ඔලිවර්ටද ලබන 12දා (බ්‍රහස්පතින්දා) ශ්‍රී ලංකාවට එරෙහිව මංගල ටෙස්ට් වරම් හිමිවීමේ ඉඩකඩක් ඇති අතර වමත් වේගපන්දු යවන වේන් පානෙල්ගේ සංචිතයේ ස්ථානය එසේම රැඳී පවතිනු ඇත. මේ අනුව බැලූවිට තෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙන වොන්ඩරර්ස් තණතීරුව ශ්‍රී ලංකා පිලට පෙර තරග දෙකටත් වඩා අවාසිදායක බවට වාර්තා වන අතර හදිසි ආබාධ තත්ත්වයක් මතුවුවහොත් හැර දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පිතිකරුවන්ගේ වෙනසක් තුන්වැනි ටෙස්ට් තරගයේදීද නොකෙරෙන බව ලැබෙන වාර්තා අනුව සඳහන්ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon