16න් පහළ සිවුකොන් පාපන්දු තරගාවලියකට ලබන මාර්තුවේදී ලංකාවේ සත්කාරය

  👤  749 readers have read this article !
Published by : MB WEB 2017-01-07 12:40:22

විචිත්‍ර වීරසිංහ

ශ්‍රී ලංකාව, ජපානය, භූතානය හා නේපාලයේ සහභාගීත්වයෙන් අවුරුදු 16න් පහළ සිවුකොන් පාපන්දු ශූරතාවලියක් එළැඹෙන මාර්තු මස 9 වැනිදා සිට 15 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.

ජපානයේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරනු ලබන මෙම ශූරතාවලියේදී මාර්තු 11 වැනිදා ශ්‍රී ලංකාව හා ජපානයත්, එදිනම භූතානය සහ නේපාලයත් තරග වදින අතර, 12වැනිදා ශ්‍රී ලංකාව හා භූතානය අතරත්, එදිනම ජපානය නේපාලය සමඟිනුත් තරග වැදීමට නියමිතව ඇත.

තවද මාර්තු 14වැනිදා ශ්‍රී ලංකාව හා නේපාලය අතරත්, එදිනම ජපානය භූතානය සමඟිනුත් තරග වැදීමට නියමිතව තිබේ.

මේ අතර මාර්තු 10 වැනිදා ජපානයේ පළපුරුදු පුහුණුකරුවන් තිදෙනකු හෝ සිවුදෙනකු මෙන්ම නේපාලයේ හා භූතානයේ පුහුණුකරුවන් වෙතින් ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන්ට විශේෂ පුහුණුවක් ලබා දීමට නියමිතව ඇති බවද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා "මව්බිම"ට පැවැසීය.

2000-2001 වසරවල උපන් පාපන්දු ක්‍රීඩකයන් මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය තෝරාගැනීම සඳහා ජනවාරි 7වැනිදා හා 8වැනිදා පැවැත්වෙන තේරීම් තරගවලටත්, 2002 හා 2003 වසරවල උපන් පාපන්දු ක්‍රීඩකයන් ජනවාරි 15වැනිදා පැවැත්වෙන තේරීම් තරගවලටත් සහභාගි විය හැකි බවත්, ඉන් අනතුරුව ජනවාරි 21 හා 22 වැනි දෙදිනදී අවසන් සංචිතය තෝරාගනු ඇති බවද අනුර ද සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මෙම ශූරතාවලිය ලංකාවට හිමිව ඇත්තේ ලංකා පාපන්දු සම්මේලනයේ වත්මන් මූල්‍ය කමිටු සභාපති රංජිත් රොද්රිගු මහතා පාපන්දු සම්මේලනයේ සභාපතිව සිටි අවදියේදී සුහදත්වය මත කරන ලද යෝජනාවලියක් හේතුවෙන් බවද පැවැසේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්