ජාතික රට හරහා දිවීමේ ශූරතාවලිය හෙට නුවරඑළියේදී

  👤  1870 readers have read this article !
Published by : MB WEB 2017-01-06 10:02:11

කෝසල ගමගේ

2017 වසරේ මලල ක්‍රීඩා දින දර්ශනය අනුව පැවැත්වෙන පළමු ඉසව්ව වන ජාතික රට හරහා දිවීමේ ශූරතාවලිය හෙට (07දා) නුවරඑළිය තුරඟ තරග පිටියේදී පෙරවරු 9.30 සිට ආරම්භ වේ.

එමෙන්ම 2017 ජාතික මහා ක්‍රීඩා උළෙලට අදාළව පැවැත්වෙන පළමු ක්‍රීඩා ඉසව්ව ලෙසින්ද පැවැත්වෙන මෙම ජාතික රට හරහා දිවීමේ ශූරතාවලියට ශ්‍රී ලංකාවේ සෑම පළාතක්ම නියෝජනය වන පරිදි ක්‍රීඩකයන් 90ක් සහ ක්‍රීඩිකාවෝ 54ක් සහභාගිවීමට නියමිතව ඇත. එසේම එළඹෙන මාර්තු මස 27දා උගන්ඩාවේදී පැවැත්වීමට නියමිත අන්තර් ජාතික මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ලෝක රට හරහා දිවීමේ ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් ලෙසින්ද මෙම තරගාවලියට වැදගත් ස්ථානයක් හිමිව තිබේ.

මෙවර ශූරතාවලියට එක්වන ක්‍රීඩිකයන් අතර මේ දක්වා ජාතික රට හරහා දිවීමේ ශූරතාව නොකඩවා තුන් වරක් දිනා ඇති ලයනල් සමරජීව වෙත බොහෝ දෙනාගේ අවධානය යොමුවී ඇති අතර ඔහු මෙවරද ශූරතාව දිනා ගත හොත් ඔහු නොකඩවා ජාතික ශූරතාව දිනා ගන්නා සිවුවන අවස්ථාව බවට පත් වනු ඇත. සමරජීව පසුගිය දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 10,000 ලෝකඩ පදක්කම දිනාගත් ක්‍රීඩකයා වන අතර ඔහු එම ජයග්‍රහණය සඳහා මිනිත්තු 32 තත්පර 49.04ක කාලයක් සටහන් කර තිබිණි.

මේ අතර කාන්තා අංශයේ වැඩි අවධානයක් යොමු වී ඇති ක්‍රීඩිකාව බවට පත්ව ඇත්තේ 2015 වසර තෙක් පැවැති ජාතික රට හරහා දිවීමේ ශූරතාවලි 5කදී නොකඩවා ජාතික ශූරිය බවට පත්ව සිටි නිලූකා රාජසේකර වෙතයි. ඔලිම්පික් මැරතන් ක්‍රීඩිකාවක්ද වන නිලූකා පසුගිය වසරේ පැවැති ජාතික රට හරහා දිවීමේ ශූරතාවලියට සහභාගි නොවූ අතර පසුගිය වර කාන්තා අංශයේ ශූරතාව දිනා ගනු ලැබූවේ අනුෂා ළමාහේවා ක්‍රීඩිකාව විසිනි. අනුෂා ළමාහේවා පසුගිය වසරේ ශූරතාව දිනා ගැනීම සඳහා මිනිත්තු 37 තත්පර 49.18ක කාලයක් වැය කර තිබිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්