වත්මන් තාරුණ්‍යය අභියෝගකාරීයි

  👤  2100 readers have read this article !
Published by : MB WEB 2017-01-03 11:15:57

වත්මන් තාරුණ්‍ය පිළිබඳ සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?

මම හිතන්නේ ඒ අයට විවෘත වූ අවකාශ නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඒ අයගේ තරුණ කාලේ හැමතිස්සෙම අනාවරණය වෙන්නේ වෙනස්වීම්වලට. ඒ නිසා අපිට ඒ ගැන පුරෝකථනය කරන්න බෑ. ඇත්තටම එයාලගේ වුවමනා හා අවශ්‍යතා ගැන අදහස් දක්වන්න අපිට බෑ. මම හිතන්නේ ඔවුන් අභියෝගකාරීයි.

ඔය කියන තාරුණ්‍යයට අද වෙද්දි ඉලක්කයක් තියෙනවද?

සමහරවිට. නමුත් ඔවුන් අපි තරම් ඒවායේ ගැලිලා නෑ. අපි තරුණ කාලේ අපිට සමාජය විසින් දුන්නු ඉලක්ක තිබුණා. අපි ඒවා හඹා යා යුතුයි. උදාහරණයක් විදියට කිව්වොත් මගේ තාත්තට ඕන වුණේ මම ඉංජිනේරුවෙක් වෙනවා දකින්න. ඒනිසා මට උසස් පෙළ විෂයක් ලෙස ගණිත විෂය ධාරාව තෝරගන්න සිද්ධ වෙනවා. මම අද සිනමාකරුවෙක් වුණත් එදා මම ඉගෙන ගන්නේ ඉංජිනේරුවෙක් වෙන්න. නමුත් අද පරම්පරාවට එහෙම වෘත්තීය හෝ අධ්‍යාපන ඉලක්ක නෑ. ඒ ගැන හැඟීමක්වත් නෑ. ඒ අය හරිම සැහැල්ලුයි.

කලාව තුළ ඔවුන් රැල්ලකට අහුවෙලා. අද තාරුණ්‍යය අවර ගණයේ නිර්මාණවලට අහුවෙලා. ප්‍රවීණයකු ලෙස ඔබට එය අගය කළ හැකිද?

කොහෙත්ම බෑ. ඒ අය අලුත්ම අත්හදා බැලීම කරනවා. ඒක ඇත්ත. නමුත් ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය අද ඉඩදෙන්නේ අවරගණයේ වටිනාකම්වලට විතරයි. ඔවුන් තමයි මේ රැල්ල හදන්නේ. අද සල්ලි තියෙනවා නම් වොයිස් එක අදාළ නෑ. සින්දු කියන්න පුළුවන්. ඒවාට කිසිම ගුණාත්මක වටිනාකමක් නෑ. ඉතින් තාරුණ්‍යයට තමන්ගේ ඇත්ත ප්‍රකාශය වටිනාකම එළිදක්වන්න ඉඩක් නෑ. ඒක ලොකු අභියෝගයක් වෙලා. ඉතින් ඇත්ත යටපත් වෙලා බාල නිර්මාණ උඩට එනවා.

එදා හිටියේ රට ජාතිය වෙනුවෙන් විප්ලව කරපු පරම්පරාවක්. නමුත් අද ඉන්නේ තමන් එක්ක නිදාගත්තු කෙල්ලො ගාන ගැන පොර ටෝක් දෙන පරම්පරාවක්. එහෙම නේද?
එහෙම නොවෙන අයත් ඉන්නවා. අපේ කාලේ අපිට සංස්කෘතික තහංචි තිබුණා. අපිට ඒවා ජයගන්න ඕන වුණා. දැන් තහංචි නැහැ. සියල්ල සෘජුයි. අපේ කාලේ ශරීරය කියන්නේ බොහෝම දුර දෙයක්. ශරීරයට ළං වෙන්න හිත දිනා ගන්න ඕන වුණා. ඒ වෙනුවෙන් අපි අතින් නිර්මාණ බිහි වුණා. අද කෙළින්ම ශරීරයම ලැබෙනවා. ඉතින් නිර්මාණාත්මක වීමක් අවශ්‍ය නෑ. ශරීරය දිනා ගන්න පහසුවෙද්දී පොර ටෝක් දීම වැඩි වෙනවා.

එහෙම පරම්පරාවකට ගුණාත්මක නිර්මාණ කිරීමේ පලක් තියෙනවද?

නිර්මාණ බලන වෙනම පිරිසක් ඉන්නවා. මේ කියන ගොඩට ඔය කියන සේරම වැටිලා නෑ. ඒවා බලන්නේ අපි විතරයි කියලා හිතන්නේ අපි විතරනේ. කවදත් ඕක සිද්ධ වුණා. 70 දශකයේ හොඳ සිනමා නිර්මාණ බිහි වුණා. බඹරු ඇවිත්, බිත්ති හතර, නිධානය, තුංමන් හන්දිය, හංස විලක් වගේ චිත්‍රපට තියෙද්දී වෙනත් බාල ගණයේ චිත්‍රපට බැලූ ප්‍රේක්‍ෂක පිරිසක් එදත් හිටියා. අදත් ඉන්නවා. නමුත් අද ඉන්න සියලුම දෙනා ඒ තැන ඉන්නවා කියන්න බෑ.

තරුණ දුවලා දෙන්නෙකුගේ තාත්තා කෙනෙක් විදියට තරුණ පරම්පරාවේ බැඳීම් හා වගකීම් ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?

මම හිතන්නේ ඒ අයට වගකීම් සහ බැඳීම් නෑ. එයාලා හුඟක් නිදහස් අය. අනිත් අයගේ අදහස් උපදෙස් ඒ අයට ඒ තරම් වැදගත් නෑ. මොකද දෙයක් දිනාගන්න ඒ අය කට්ට කාලා නෑ. කිසි දෙයක් ගැන කිසිම හැඟීමක් නෑ. එයාලා බලාපොරොත්තු වෙන්නේම වගකීම් නැති ජීවිතයක්.

සිනමාකරුවකු ලෙස නූතන ගීත කලාව ගැන යමක් කියන්න පුළුවන්ද?

ගීතය සර්වකාලීන විය යුතුයි. ඒක පැරැණි ගීතවල තිබුණා. ඒක එන්නේ ගීතය සහ සංගීතය තුළින්. අද ජනප්‍රිය වෙන ගීත ආවා ගියා. ඔය අතර හොඳ ගීතත් තියෙනවා. පැරැණි පරම්පරාව කළ දේ තමයි අද අයත් බුක්ති විඳින්නේ. ඒ පරම්පරාව කළ ඒ දායකත්වය සර්වකාලීනයි. අද අයට තමන්ගේ කියලා අනන්‍යතාවක් නෑ. එකක් කළොත් ඒකේ කොපි ඕන තරම් හොයාගන්න පුළුවන්. කලාකාමී නෑ. නමුත් ඒ අතර තියෙන හොඳ දේ අගයන්න ඕන.

අතීතය හා වර්තමානය අතර සැසඳීම් ප්‍රායෝගික නෑ. ඔබ නොස්ටැල්ජියානුවාදීද?

නෑ. මම කොහෙත්ම අතීතය පමණක් හොඳයි කියලා අතීතය තුළ ගිලිලා අතීතකාමයෙන් මත්වෙලා නෑ. 60-70 දශකයේ වුණත් නිර්මාණ අද දකිද්දී අඩුපාඩු තියෙන බව පේනවා. ඒ අඩුපාඩු හදාගෙන යන හොඳ නිර්මාණ අද තියෙන්න පුළුවන්. මම මුලින් කිව්වා වගේ සියල්ල අතර හොඳ දේත් තියෙනවා. කාලය විසින් ඒ දේවල් ගැන සාක්කි කියාවි. යූ ටියුබ් වැනි මාධ්‍ය හරහා පවා යහපත් යමක් කරන තරුණ පරම්පරාවක් අද ඉන්නවා. ඒ වගේම හොඳ සිනමා නිර්මාණ කිහිපයක්ම බිහි කරන්න අලුත් පරම්පරාවේ තරුණ නිර්මාණකරුවන්ට හැකි වුණා. මම කියන්නේ නෑ අතීතය විතරක් හොඳයි කියලා.

හංසි ආටිගල

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්