ජාතික මලල ක්‍රීඩා පුහුණු අධ්‍යක්‍ෂ තනතුරට කැමැති නම් 15 දාට පෙර ඉල්ලන්න

  👤  1977 readers have read this article !
Published by : MB WEB 2017-01-02 10:39:43

ජාතික මලල ක්‍රීඩා පුහුණු අධ්‍යක්‍ෂ තනතුර සඳහා සුදුසුකම් සපුරා ඇති ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරුවකු තෝරා පත් කර ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ. පළමු වරට හඳුන්වා දෙන මෙම තනතුර සඳහා සුදුසුකම් සපුරා ඇති ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියකුට අයැදුම්පත් යොමු කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අවස්ථාව සලසා දී ඇත.

ඒ අනුව උක්ත තනතුර සඳහා අයැදුම් කරන්නේ නම් ක්‍රීඩා උපාධියක් (මලල ක්‍රීඩා සහිත) හෝ පුහුණුකරු අදියර 2 පාඨමාලාව සමත්ව තිබීම හෝ ඊට සමාන පාඨමාලාවක් හදාරා ඇති අයෙකු වීම ප්‍රමුඛ සුදුසුකමක් වන අතරම අවම වශයෙන් වසර 15ක් ජාතික මට්ටමේ පුහුණුකරුවකු ලෙස පළපුරුද්දක් තිබීමද අත්‍යවශ්‍ය සාධකයක් බව මලල ක්‍රීඩා සංගමය නිවේදනය කරයි.

තවද ජාතික සහ ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරග ජයග්‍රහණ ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුකර තිබීම, තහනම් උත්තේජක සම්බන්ධයෙන් ක්‍රීඩකයකු හෝ පුහුණුකරුවකු ලෙස දඬුවම් ලබා නොතිබීම සහ වයස අවුරුදු 40ට වැඩි අයෙකු වීම වැනි කරුණුද අදාළ තනතුර සඳහා බඳවා ගැනීමේදී සැලකිල්ලට භාජන වන ප්‍රධාන කරුණු අතර වේ.
මේ සඳහා අයැදුම්පත් යොමු කිරීමට කැමැති අය තමා විසින් පිළියෙල කර ගත් අයැදුම්පතක් ජනවාරි මස 15 වන දිනට පෙර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය, නො 33, නිදහස් මාවත, කොළඹ 07 යන ලිපිනයට යොමු කරන මෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය දැනුම් දෙයි.

කෝසල ගමගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon