ලයික් අන්ලයික් ගීතය ඉන්ද්‍රචාපව වෙනස් කරලා

  👤  3421 readers have read this article !
Published by : MB WEB 2016-12-28 08:30:13

ඉන්ද්‍රචාප වෙනස් වැඩක් කරලනේ?

"ලයික් අන්ලයික්" ගීතයේ වීඩියෝවෙන් අපිට අලුත් වැඩක් කරන්න ඕන වුණා. ඇත්තටම ඒකේ මූලික අදහස ගෙනාවේ වීඩියෝව ඩිරෙක්ට් කරපු රුසිරු පන්නිලගේ. ඒකත් එක්ක අපි පොඩි උත්සාහයක් කරලා බැලුවා වෙනම තේමාවක් යටතේ මේක කරලා බලන්න. ආබාධිත ප්‍රේමවන්තයෙක් තමන්ගේ පෙම්වතිය සහ මිනිසුන් සමඟ ගනුදෙනු කරන ආකාරය තමයි මෙහි තේමාව වුණේ. මේ වෙලාවේ ගීතය ලියපු ජනක පෙරේරා වගේම මියුසික් කරපු ජීවන්ත හේවාබන්දුවත් මතක් කරන්න ඕන.

වෙනස් වැඩක් කළාම ලැබෙන ප්‍රතිචාරත් වෙනස් ඇතිනේ?

මේක සෑහෙන්න මහන්සි වෙලා කාලයක් අරගෙන කරපු වැඩක්. ඒ මහන්සියට මේ වෙනකොට ප්‍රතිචාර ලැබිලා තියෙනවා. සාමාන්‍යයෙන් මගේ ගීත අහන්නේ රොක් ගීතවලට කැමැත්තක් තියෙන පිරිසක්නේ. හැබැයි මේ ගීතය එක්ක තවත් රසික පිරිසක් මට එකතු වුණා කියලා හිතෙනවා.

ඉන්ද්‍රචාප කියන්නේ වෙනස්ම විදියේ ගීත කරන කෙනෙක්. එහෙම වෙනසක් කරන්නේ සංගීත ක්ෂේත්‍රය ඇතුළේ ලකුණක් තියන්න ඕන නිසාද? එහෙමත් නැති නම් වෙනස් වැඩක් කරන්න ඕන නිසාද?

පළමුවැනිම දේ තමයි ඒක මට දැනෙන විදිය. අවුරුදු 15ක් තිස්සේ අපි විවිධ අත්හදාබැලීම් කරමින් ඉන්නවා. සංගීත ක්ෂේත්‍රය ඇතුළේ මමත් කසුන් කල්හාරත් මගේ සමකාලීනයන් වන නදීක ගුරුගේ සහ නදීක ජයවර්ධනත් අපි විවිධ මං සොයමින් ඉන්නවා. මේක සංගීතයට තියෙන ආසාව සහ වුවමනාව මත කරන වැඩක් මිසක් මාකටින් වැඩක්වත් පොරක් වීමේ අරමුණෙන් කරන වැඩක්වත් නෙවෙයි. අපි මූලිකවම කරන්නේ පර්යේෂණ මට්ටමේ ගීත. ඒවා ඉතින් සුපර් මාර්කට්වල වගේ හැම තැනම ඇහෙන්නේ නැහැ.

ඔය නොකියා කියන්නේ ජනප්‍රිය මාධ්‍යවල ඔබ කරන ගණයේ නිර්මාණවලට ලැබෙන ඉඩ අඩුයි කියලා නේද?

සෑහෙන අඩුයි. මොකද මාධ්‍ය තුළ හැම තිස්සෙම වැඩි අවධානයක් යොමු වෙන්නේ වෙළඳ වටිනාකමක් තියෙන පැත්තට. ඒකේ වැරැද්දක් කියන්නත් බැහැ. මොකද මාධ්‍ය කියන්නේ වෙළෙදාමක් නිසා. නමුත් මාධ්‍ය තුළ ලැබෙන ඉඩ අඩු බව දැනගෙන තමයි අපි වැඩ කරන්නේ. ඒකේ අපිට ගැටලුවක් නැහැ. නමුත් මේ වනතුරු අපි වටා එක්රැස් වුන පිරිසක් ඉන්නවා. ඒ පිරිස මාධ්‍ය කියන අවකාශයට කොටු නොවී අන්තර්ජාලය ඇසුරු කරන රසවින්දනයක් තියෙන පිරිසක්. ඉතින් ඒක ප්‍රමාණාත්මක තත්ත්වයක් විදියට අපි සලකනවා. එතැනින් එළියට මේ රසවින්දනය ගෙනියන්නේ කොහොමද කියන දේ ගැනත් අපි හිතනවා.

සංගීත ක්ෂේත්‍රය පැත්තෙන් ජනප්‍රිය වීමේ අරමුණක් තිබ්බෙම නැද්ද?

කිසිම දවසක කිසිම අරමුණක් තිබුණෙ නැහැ. අඩු තරමේ සංගීත ක්ෂේත්‍රයට සේවයක් කරනවා කියන අදහසත් නෙවෙයි ඇත්තටම අපිට තිබුණේ. අපේ සතුට සංගීතය තුළ විඳින්නේ කොහොමද කියන දේ සහ මට මාව හොයාගන්න පුළුවන් උපකරණයක් තමයි සංගීතය කියන්නේ. මට ජනප්‍රිය වීමේ හෝ බිල්බෝර්ඩ්වල රැඳෙන්න හෝ ටෙලිවිෂන් එකේ කොහොමද මූණ පෙන්නාගන්නේ වගේ අදහස් තිබුණේ නැහැ. මට අවශ්‍ය වෙලා තිබුණු එකම දේ මගේ ආත්මය සංගීතය තුළ සොයා ගැනීම විතරයි.

දැන් ඉන්ද්‍රචාප චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය පැත්තටත් යොමු වෙන්න නේද යන්නේ?

ඔව්. චින්තන ධර්මදාසගේ ඇවිළෙන සුලුයි කියලා චිත්‍රපටයකට මම සංගීත අධ්‍යක්ෂණය කරනවා.

එතකොට මේ ඉන්ද්‍රචාපගේ පළමුවැනි සංගීත අධ්‍යක්ෂණයද?

චිත්‍රපටයක සංගීත අධ්‍යක්ෂණය කියන පැත්තෙන් ගත්තොත් මේක මම තනියම කරන පළමුවැනි වැඩේ. ඊට කලින් මම උදය ධර්මවර්ධනගේ කළු සමනල්ලු චිත්‍රපටයේ ගීත සඳහා සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ඒක ප්‍රංශය සහ ලංකාව අතර සම නිෂ්පාදනයක්. ඒ චිත්‍රපටය ප්‍රංශයේ තිරගත වුණා. සමස්ත චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ ලක්ෂ්මන් ජෝශප්. ඒකේ ගීත 6ක් තියෙනවා. ඒ ගීත 6 අධ්‍යක්ෂණය කළේ මම. ඒක ලක්ෂ්මන්ගෙයි මගෙයි එකමුතුවෙන් කරපු වැඩක්. එහෙම බැලුවොත් නම් මේ මගේ දෙවැනි චිත්‍රපටය.

ඉන්ද්‍රචාප කියන්නේ දැන් ප්‍රසංගවලට විතරක් සීමාවෙලා ඉන්න චරිතයක්ද?

එහෙම නැහැ. නමුත් මම ප්‍රසංගවලට සහභාගි වෙනවා. මේ අවුරුද්දේ ගත්තත් දෙසැම්බර් 29 බණ්ඩාරවෙල මගෙයි කසුන්ගෙයි වෙනස්ම ප්‍රසංගයක් තියෙනවා. පළමුවැනි පාරට අපි නුවරඑළිය, බණ්ඩාරවෙල පැත්තට ප්‍රසංගයකට ගෙනියන්නේ. ඒ වගේම ජනවාරි 14 වැනිදා කොළඹ ඕර්ධ්ඛ්ඩ් එකේදි මම, චිත්‍රාල් සෝමපාල සහ තව දෙන්නෙක් එක්ක තවත් ප්‍රසංගයක් තියෙනවා. පෙබරවාරි 10 වැනිදාත් මම සහ කසුන්ගේ තවත් කොන්සර්ට් එකක් තියෙනවා.

මොනවද නිර්මාණ කටයුතු පැත්තෙන් සිද්ධ වෙන අලුත් දේවල්?

අහන් ඉන්න ගීතය කරපු රුවන් වල්පොළගේ ඊළඟ නිෂ්පාදනය එන්න තියෙනවා. මම ලියලා මම සංගීතවත් කරපු තවත් ගීතයකුත් රිලීස් වෙන්න තියෙනවා.

අරුණි කළුපහන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්