ඩ්‍රීම් ස්ටාර් ජනිත් හිමාල කඳු නැඟපු හැටි

  👤  4316 readers have read this article !
Published by : MB WEB 2016-12-27 13:05:28

සින්දු කිය කිය හිටිය ජනිත් පහුගිය දවස්වල හිමාලේ නැග්ගා කියලා ආරංචියි?

ඔව්. මගේ පාසලේ ඒ කියන්නේ කොළඹ නාලන්දා විද්‍යාලයේ කඳු තරණ සංගමයෙන් එකොළොස් දෙනෙක් හිමාලය නඟින්න ගියා. ඒ කණ්ඩායමේ මමත් හිටියා.

එකපාරට ජනිත්ට කඳු නඟින්න හිතුණේ මොකද?

ඇත්තටම මේක එකපාරට හිතලා කරපු දෙයක්ම නෙවෙයි. හිමාලය නඟින්න මට පොඩි කාලේ ඉඳන්ම හීනයක් තිබුණා. ඒ හීනය තමයි හැබෑ වුණේ.

ඒ හැබෑ වුණු හීනේ අත්දැකීම විඳපු හැටි කියමු?

දවස් විසි අටක් අපි මේ ගමන ගියා. කිලෝ විස්සක් විතර බර බෑග් එකක් උස්සගෙන අපි නැඟපු මුළු උස අඩි දාහත්දාහක්. කඳු නඟින්න නඟින්න උෂ්ණත්වය ඍණ ගණන්වල තිබුණේ. ඉතින් ඒක ජීවිතයට ලැබුණු ලොකු අත්දැකීමක්.

පහුගිය දවස්වල උසස් පෙළ විභාගයටත් මුහුණ දුන්නනේ?

ඔව්. පාසල් අධ්‍යාපන කටයුතු නම් ඉවර කළා. දැන් ඉතින් කැම්පස් යන හීනය තමයි මට තියෙන්නේ.

ජනප්‍රියත්වය, සල්ලි ලැබෙද්දි සමහරුන්ට පරණ අරමුණු අමතක වෙනවා. හැබැයි ජනිත්ගේ අරමුණ අමතක කරලා නෑ වගේ?

නෑ. ඒ අරමුණ කවදාවත් අමතක කරන්නේ නෑ. ඉගෙන ගන්න දේ ගොඩක් වටිනවා.

අධ්‍යාපන කටයුතු පැත්තෙන් ඉදිරියට යද්දි ගායනය අමතක කරයිද?

නැහැ. ගායනය අමතක කරන්නේ නැහැ. අධ්‍යාපන කටයුතු වගේම සංගීතමය වැඩකටයුතුත් කරගෙන මගේ විශ්වවිද්‍යාල හීනයත් හැබෑ කර ගන්නවා.

ජනිත් සංගීතය වෘත්තිය විදියට තෝර ගනියිද?

මගේ වෘත්තිය විදියට මම සංගීත ක්‍ෂේත්‍රය තෝරා ගන්නවා.

ජනිත්ගේ අලුත් ගීතයකුත් මේ දවස්වල අහන්න ලැබෙනවා?

ඔව්. 'අන්සතු වුණත්' කියන ගීතයයි, වීඩියෝවයි දෙකම රිලීස් කළා. මගේ ගීතයකට නිර්මාණය වුණු පළමු වැනි විෂුවල් එක මේක.

එහෙනම් ප්‍රතිචාරත් හොඳ ඇති?

ඇත්තටම හිතුවටත් වඩා හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

ඩ්‍රීම් ස්ටාර්වලින් එළියට බහිද්දි ජනිත්ට ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා. ඒ ජනප්‍රියත්වය තාම ඒ විදියටම තියෙනවද?

බොරු කියන්න ඕනේ නෑනේ. ඒ තිබිච්ච ජනප්‍රියත්වයේ උණුසුම දැන් නැහැ. ඒක ඕන කෙනෙක්ට වෙන දෙයක්. කාලයක් නාමල් අයියා පීක් එකේ හිටියා. ඊට පස්සේ ශිහාන් අයියා පීක් එකේ හිටියා. දැන් සඳුන් පෙරේරා අයියා පීක් එකේ ඉන්නවා. ඒක මට වගේම කාටත් පොදු දෙයක්.

ඒ ජනප්‍රියත්වය දැන් නොලැබෙද්දි දුකක් නැද්ද?

නැහැ. මම ජනප්‍රිය වුණත් මම හිටියේ හරි සාමාන්‍ය විදියට. මුල් දවස්වල ලැබුණා වගේ ජනප්‍රියත්වයක්, ආකර්ෂණයක් නැති වුණත් රසිකයන් මගේ ගීත අහනවා. මට කොහොමත් ඕන ජනප්‍රියත්වයට වඩා ප්‍රවීණත්වයක් දිනා ගන්න.

ජනිත්ට පසුබිම් ගායනයටත් ආරාධනා ලැබුණා කියලා ආරංචියි?

දැනට චිත්‍රපටයක පසුබිම් ගායනයට ආරාධනාවක් ලැබිලා තියෙනවා. ඒක බෞද්ධ චිත්‍රපටයක්.

ජනිත්ගේ "ස්ටේජ් වන්" සංගීත කණ්ඩායමේ වැඩකටයුතු කොහොමද?

මේ දවස්වල බෑන්ඩ් එකේ වැඩවලට මහන්සි වෙනවා. දෙසැම්බර් මාසේ නිසා වැඩ තියෙනවා. ඉතින් බෑන්ඩ් එකේ පුහුණුවීම්වලටත් කාලය යොදවලා තියෙන්නේ.

"ස්ටේජ් වන්" ප්‍රසංග වේදිකාවේ පළමු වැනි තැනට ගේන්න පුළුවන් වෙයිද?

එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. වාසනාවයි අපේ කැපවීමයි එක්ක තමයි ඒක තීරණය වෙන්නේ. දැනටම අපිට ලංකාව වටේ වැඩ ලැබෙනවා. කාලයක් යද්දි අපේ තත්ත්වය තවත් හොඳ වෙයි කියලා හිතෙනවා.

මොනවද ඉදිරි වැඩ?

ගීත හතරක් රෙකෝඩින් කරලා තියෙනවා. ඒ ගීතත් ඉදිරියෙදී මගේ රසිකයන්ට අහන්න දීලා ක්‍ෂේත්‍රයේ සාර්ථක ගමනක් යන්න තමයි හිතාගෙන ඉන්නේ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්